Breaking News

අධිවේගී මාර්ගයෙන් නිවාස අහිමිවූවන් ගෙනගිය සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගත් පිරිස ඇප මත නිදහස්

මධ්‍යම අධිවේගී මාර්ග ඉදි කිරිමේදී නිවාස හානි වූ පවුල් 600කට ආසන්න පිරිසක සාමාජිකයන් සිදුකළ සාමකාමී සත්‍යග්‍රහයේ යෙදෙමින් සිටියදී ඊයේ (27) අත්අඩංගුවට ගත් සංජීව කුලතිලක ඇතුළු සිව්දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (28) නියෝග කර තිබෙනවා.

මෙහිදී, පොලිසිය විසින් සාපරාධී බලහත්කාරය පෑම, මං මාවත් පනත, අයුතු ජන රාශියක් ඇතුලු චෝදනා ගණනාවක් යටතේ අත්අඩංගුවට පත් පිරිසට එරෙහිව අධිකරණයේ කරුණු දක්වා තිබුණා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාරක ධර්මරත්න මහතා නීතීඥ යසස් සමඟ දීර්ඝ කරුණ දැක්වීමක් සිදු කළ අතර අදාළ පිරිස සාමකාමී උද්ඝෝෂණයක නියැලුණු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා සාමකාමී විරෝධතාවයට අවස්ථාව සලසා දී ඇති බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එමෙන්ම, මෙලෙස සාමකාමීව විරෝධය පෑම මූලික අයිතිවාසිකමක් බව පවසමින් පැරණි නඩු තීන්දු ගෙන හැර පාමින් කරුණු දැක්වීමක්ද සිදු කළා.

කෙසේවෙතත්, මෙහිදී කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙවැනි උද්ඝෝෂණ නවත්වන්නැයි පසු ගිය කාල සීමව තුළ විටින් විට පොලීසිය විසින් සිදු කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලද්දේ සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය අධිකරණය විසින් පිළි ගැනීම නිසා බවයි.

එමෙන්ම, අත්අඩංගුවට පත් වූවන්ට මෙලෙස ඇප ලබා දීමෙන් මින් ඉදිරියට සාමකාමී විරෝධතා පැවැත්වීමට නොහැකි බව අදහස් නොවන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර, සත්‍යග්‍රහයේ නියැලී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථනවල මුර පද ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් සිදු කරන ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

leave a reply