Breaking News

ඉන්දියාව හා ලංකාව යා කරන මාවතේ වාසිය කාටද?

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන – අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි.

රජයේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබෙනවා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉකුත්දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී සිදුවූ සාකච්ඡා අනුව අදාල මාර්ගය ඉදිකිරීමේ මූලික අදහස් මෙම සතියේදී ලබාදෙන බවට ඉන්දීය රාජ්‍ය නියෝජිතයින් දැනුම් දී තිබේ.

ඉන්දීය රජයේ මූලික අදහස් සලකා බැලීමෙන් අනතුරුව ලංකා රජයේද අදහස් ලබාදී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ලංකාව සහ දකුණු ඉන්දියාව යා කරමින් ගොඩබිම් මාර්ගය ඉදිවූ පසුව දෙරට ආනයන අපනයන සඳහා වැඩි ඉඩක් ලැබෙන්නේ යැයිද ඉන්දියාවේ වෙළඳපොළ විශාල හෙයින් ශ්‍රී ලංකාවට එහි වාසිය අසීමාන්තිකව භුක්ති විඳීමට හැකියාව ඇතැයි ද රජයේ ප්‍රකාශකයා කීය.

නැව් මාර්ගයෙන් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා ගොඩබිම ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන හෙයින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය වල මිල අඩුවනු ඇතැයිද රජයේ ප්‍රකාශකයා පැවසීය.

එමෙන්ම සංචාරකයන්ට මෙරටට අඩු වියදමකින් පැමිණීමට හැකියාව ලැබීම,ඉන්දියාව විසින් නිකුත්දා නිර්මාණය කරනු ලැබූ මැද පෙරදිග ආර්ථික කොයිඩෝවට ලංකාවටද සම්බන්ධ වීමට හැකියාව ලැබීම, දෙරට අතර විදුලි බල හුවමාරුවට පහසුකම් ලැබීම මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ආදියෙන් ලංකාවට වැඩිපුර විදුලි බලයක් උත්පාදනය කරන්නට හැකි වුවහොත් එම විදුලි බලය ඉන්දියාවට විකුණන්නට අවස්ථාව ලැබීම වාසි අතුරින් කිහිපයක් බව රජය පවසයි.

එමෙන්ම ලොව පුරා අන්තර්ජාල සම්බන්ධීකරණය සඳහා මුහුද යටින් එලා ඇති සම්බැරීන් කේබල් හෙවත් ඉන්ටර්නෙට් කේබල් පද්ධතිය ඉන්දු- ලංකා ගොඩබිම් මාර්ගය ඔස්සේ එලීමෙන් ඊට වන හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවද ගොඩබිම ආසන්න මුහුදේ දී නෞකාවල නැංගුරම් වැදීමෙන් අදාල කේබල් පද්ධතියට හානි සිදුවූ අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇතැයිද රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග එළැඹුණු එකඟතා අනුව මෙම ඉන්දු ලංකා මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.

ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදි කිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.

අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇති අතර ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුර කිලෝමීටර් 23කි.

leave a reply