Breaking News

විදුලි බිල් වැඩිවීමේ ප්‍රශ්නයේදී ‘බහුජන හිතාය බහුජන සුඛාය’ අමතක වීම

මේ දිනවල විශේෂ අවධානය දිනාගත් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ විහාරස්ථානවල විදුලි බිල වැඩිකිරීම පිළිබඳවයි. පාර්ලිමේන්තුව තුළ පවා විහාරස්ථානවල විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු එයට විසඳුම් යෝජනා ඉදිරිපත් කරනු දැකිය හැකිවිය. මේ අතර වප් පුර පසළොස්වක පොහොය දිනදී දිවයින පුරා සියලුම විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය දක්වන්නැයි මධ්‍යම පළාත් මහා සංඝ සභාවට යෝජනාවක් ද ඉදිරිපත්ව තිබෙනවා.

විශේෂයෙන් පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල වැඩකොටසක් සිදුකළ සංඝයා වහන්සේලා වන අතුරලියේ රතන, මැදගොඩ අභයතිස්ස, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරු විදුලි බිල වැඩිකිරීමට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටියි.

මෙහිදී මෙම හිමිවරුන් පොදුවේ ඉල්ලා සිටින්නේ විහාරස්ථාන සඳහා ඇති විදුලි බිල් දැරිය නොහැකි මට්ටමට ළඟා වී ඇති බැවින් එම විදුලි බිල් නොගෙවා සිටීමට තමන් තීරණය කර ඇති බවයි. එම කිසිදු හිමිනමක් ජනතාවගේ විදුලි බිල් වැඩිවීම ගැන එතරම් වදවෙනු දක්නට නොලැබේ. මේ අවස්ථාවේ ආණ්ඩුව සුපුරුදු කපටිකම පවිච්චි කරමින් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් සංඝයා වහන්සේලා තුළින් නැගෙන විරෝධයට පමණක් පිළිතුරු ලබාදීමට උත්සාහ කරනුද දැකිය හැකිවිය. බලශක්ති ඇමති කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ අවශ්‍ය නම් විහාරස්ථාන සඳහා සූර්ය පැනල තාක්ෂණයෙන් විදුලිය ලබාදීම ගැන සිතා බැලිය හැකි බවයි.

මේ මොහොතේ විදුලි බිල වැඩිවීම විහාරස්ථානවලට පමණක් නොව පොදුවේ සමාජයේ සිටින සියලු දෙනාට බලපා ඇති ප්‍රශ්නයකි. විශේෂයෙන් විදුලි බිල, ජල බිල වැඩිකිරීම යනු බඩු මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගෙලට වැටි තිබෙන තොන්ඩුව තව තවත් සිරවිමකි. එවැනි තත්ත්වයකදී බෞද්ධ භික්ෂූන් විසින් පන්සල්වල විදුලි බිල ගැන පමණක් අවධානය යොමුකරමින් සිටීම ගැන සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.

භික්ෂූන් වහසේලා රටේ පොදු ප්‍රශ්න වෙනුවෙන් ඉදිරියට පැමිණීම බොහෝ අවස්ථාවල සිදුවූ බව අමතක කළ යුතු නැත. ජන අරගලයේදී පවා භික්ෂූන් වහන්සේලා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන ලදී. සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව වන්නේ ද තමන් අදහන ආගමට අයත් පූජක පිරිස් තමන්ට සිද්ධ වෙන අසාධාරණයකදී පිහිට වෙනු ඇති බවයි. බුදු දහම තුළ පවා කතා කෙරෙන්නේ භික්ෂූන් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස වැඩකටයුතු කළ යුතු බවයි. බහුජන හිතාය බහුජන සුඛාය ලෙස සඳහන් වන්නේ එයයි. නමුත් විදුලි බිල ගැන වදවෙන බොහෝ භික්ෂූන්ට එම ධර්ම පදය අමතක වී ඇති බව පෙනේ.

leave a reply