Breaking News

කැලණිය සරසවියට පැමිණි ඩඩ්ලි සිරිසේනට සිසුන්ගේ විරෝධය

දේශනයක් වෙනුවෙන් කැළණිය සරසවිය වෙත පැමිණි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට දැඩි විරෝධයක් සිසුන් විසින් එල්ල කර තිබේ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නිල facebook පිටුවේ සටහනක් තබමින් සිසුන් පවසන්නේ ජනතාව හාමතේ සිටිද්දීී සහල් මාෆියාකරුවන් විශ්වවිද්‍යාලයට ගෙන්වාගෙන සිදුකරන දේශපාලන සංදර්ශනවලට තමන් විරුද්ධ වූ බවයි. මෙවැනි පුද්ගලයන් විශ්ව විද්‍යාලයට ගෙන්වා දේශනා පැවැත්වීමට ඉඩදීම මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම නින්දාවක් බව එම සිසුන් පවසා තිබේ.

කැළණිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නිල facebook පිටුවේ පළකර තිබූ සටහන පහත දැක්වේ.

ජනතාව හාමතේ සිටිද්දීී සහල් මාෆියාකරුවන් විශ්වවිද්‍යාලයට ගෙන්වාගෙන සිදුකරන දේශපාලන සංදර්ශනවලට සිසුන්ගේ විරෝධය..
ලංකාවේ ප්‍රකට සහල් මාෆියාකරුවකු වන ඩඩ්ලි සිරිසේන කැඳවූ දේශපාලන සංදර්ශනයක් අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. කොවිඩ් වසංගත අවදානම තුළ ජනතාව සහල් පෝලිම්වල සිටියදී මහා පරිමාණයෙන් සහල් තොග ගබඩා තුළ සඟවාගෙන ජනතාව පීඩනයට පත් කළේ ඩඩ්ලි සිරිසේනලාය. සහල් මිල ඉහළ දැමීම මේ සහල් මාෆියාකරුවන් සිදු කළේ මාධ්‍ය සාකච්ඡා තුළින් මිල දැනුම් දෙමිනි. අවම වශයෙන් රජයටවත් මොවුන් පාලනය කළ නොහැකි විය.

මෙරට පත්වන පත්වන ආණ්ඩුවල තීන්දු තීරණ ගැනීමට දේශපාලුවන් හා කරට අත දා⁣ගෙන අරමුදල් සම්පාදනය කරන්නේ මෙවන් මාෆියාකරුවන් විසිනි. 2022 සහල් හිඟයක් ඇතිවන විට මෙම මාෆියාකරුවන්ගේ ගබඩා තුළ ඉදිරි වසර 04 කට ප්‍රමාණවත් සහල් තොග ගබඩා කර තිබිණි. මෙම සහල් ජනතාවගේ ආහාර අවශ්‍යතාව නොසලකා වැඩිපුර ම ප්‍රමාණයක් යොදවන්නේ බීර නිශ්පාදනය කිරීමටය.
ලාභය ගැන පමණක් සිතමින් ජන ජීවිත තුට්ටුවට ගණන් නොගන්නා මෙවන් මාෆියාකරුවන් විශ්වවිද්‍යාල තුළට වැද්දගත යුතු නැත. මේ මොහොතේත් සහල් මිල බරපතල ලෙස ඉහළ ⁣ගොස් තිබෙන්නේ දේශපාලුවන් මෙන් ම මෙම මාෆියාකරුවන්ගේ ද කෙරුවාව නිසාවෙනි. එහෙයින් ඩඩ්ලි සිරිසේන විශ්වවිද්‍යාල භූමියෙන් නෙරපා හැරීමට තරම් විරෝධයක් සිසුන් අතර මතුවීම ඉතා ස්වභාවික තත්ත්වයකි. ජනතාව බඩගින්නේ තබන මාෆියාකරුවන් ඔවුන්ට අදාළ තැන්වල මිස විශ්වවිද්‍යාල දේශකවරුන්ගේ මට්ටමට ඔසවා තැබිය නොයුතුය. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම කරන බලවත් නින්දාවකි.
~මහා ශිෂ්‍ය සංගමය – කැලණිය විශ්වවිද්‍යාලය~

leave a reply