දැන් නව සමාජ පන්තීන් දෙකක් නිර්මාණය වෙමින් පවතී. ඒ වසංගතය ව්‍යසනයක් වූවන්ගේ පන්තිය සහ වසංගතය වසන්තයක් වූවන්ගේ පන්තියයි. ජනගහණයෙන් 99% කට වසංගතය යනු ව්‍යසනයකි. එය වසන්තයක් වී ඇත්තේ 1% ක් වූ වරප්‍රසාදිත අතලොස්සටයි.
අප රටේ පමණක් නොව දැන් ලොව පුරාම උද්ගත වෙමින් පවතින තත්ත්වය මෙයයි. මේ වසරේ මුලදී ඔක්ස්ෆෑම් ආයතනය වාර්තා කළ පරිදි වසංගතය පැවතියදී ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනාගේ ආදායම ඩොලර් බිලියන 540 කින් ඉහළ ගොස් තිබේ. එසේ වැඩි වූ ආදායම සියළු ලෝ වැසියන්ට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් බවද ඔක්ස්ෆෑම් වාර්තාව පවසයි. අනෙක් අතින්, 2020 වසරේදී ලොව පුරා අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන ජනගහණය මිලියන 200 ඉක්මවන ලදැයි ගණන් බලා තිබේ.
මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? වසංගතය පසුබිම් කොටගෙන නව සමුච්චන බලාධිකාරයක් (regime of accumulation) නිර්මාණය වීමයි. එම නව බලාධිකාරය නව-ලිබරල්වාදයෙන් වෙනස්ය. එය නිදහස් වෙළඳපළවාදයේ සහ දේශපාලන අධිකාරීවාදයේ සංකලනයකි. සමාජ ආපදාවක් ලාභ ඉපැයීමේ මාර්ගයක් බවට පත් කර ගැනීමට මෙම නව සමුච්චන බලාධිකාරය පසුබට වන්නේ නැත.
නයෝමි ක්ලයින් පැවසූ ලෙස අද අප සිටින්නේ වසංගත ධනවාදයක් තුළයි. ඒ තුළ තව දුරටත් සූරාකෑමට තරම් දෙයක් නොමැති මනුෂ්‍යයින් මුළුමනින්ම අත හැර දමනු ලැබේ. ඔවුන්ව අත හැර දමනු ලබන්නේ රාජ්‍යයේ සුපරීක්ෂණය අභිමුවටය; ඩ්‍රෝන යාත්‍රාවල රේඩාර් තිරය ඉදිරියටය; දෛනික ප්‍රවෘත්ති විකාශන තුළ අවමානයට ලක් කිරීමටය; සාගතයටය; මරණයටය. ඇචීල් ම්බෙම්බේ එයට කීවේ මරණ-දේශපාලනය (necropolitics) කියාය.
වසංගත ධනවාදය තුළ රාජ්‍යය වඩ වඩාත් බලවත් වෙමින් පවතී. අපගේ කුඩාම ඉරියව්වක් පවා සුපරීක්ෂණයට ලක් කරන්නට දැන් රාජ්‍යයට නව සුජාතභාවයක් හිමිව තිබේ. රාජ්‍යයේ අණසකට යටත් වූ පුද්ගලයින් දැන් ගිලී යමින් සිටින්නේ පවුල තුළටය. එම පවුල කරා අණසක පතුරුවන තාක්ෂණ-අධිකාරීත්වයක්ද පවතී. සරලව දැන් පුද්ගලයා සහ පවුල පාලනය කරනු ලබන්නේ තිර කිහිපයක් මගිනි. එනම් රූපවාහිනී තිරය, පරිගණක තිරය සහ ජංගම දුරකථන තිරය යනාදියයි. එම තිර එක්වරම අපව පාලනය කරන අතර අපව සුපරීක්ෂණයට ලක් කරයි. ඒ සමගම සුවිශාල ලෙස ධනය උපයයි.
මිනිස් ජීවිතය දැන් දෝලනය වන්නේ පවුල, රාජ්‍යය, අධි-තාක්ෂණ ඒකාධිකාරයන් සහ වෙළඳපල අතරය. ඒ අතර සමාජය හැකිලී යමින් තිබේ. සමාජය අහිමි වී යමින් තිබේ. වත්මන් අර්බුධය ගැන සමාජ සංවාදයක් පවා නොමැති වන තරමට සමාජය වියැකී යමින් තිබේ.
සමාජය තර්ජනයට ලක් වූ කාලවලදී දේශපාලනයේ ස්වරූපයද වෙනස් වේ. කාල් පොලන්යී පැවසූ පරිදි, එවිට සමාජය ආරක්ෂා කිරීමේ ප්‍රතික්‍රියාවක් සමාජය පැත්තෙන් මතු වේ. ඔහුට අනුව ශ්‍රමය, භූමිය සහ මුදල් යන දේ හුවමාරු භාණ්ඩකරණයට ලක් වීමෙන් 19 වන සියවසේ සිට යුරෝපයේ සමාජය තර්ජනයට ලක් විය. 1930 දශකයේදී එසේ තර්ජනයට ලක් වූ සමාජය ආරක්ෂා කිරීමේ නාමයෙන් නට්සිවාදයට මතු විය හැකි විය.
ශන්තාල් මූෆ් පෙන්වා දෙන්නේ සමාජය ආරක්ෂා කිරීමේ සටන් පාඨය දක්ෂිණාංශයටම ලියා දිය යුතු නැති බවය. ජන සමාජය ආරක්ෂා කිරීමේ පුරෝගාමී භූමිකාව වමටද ඉටු කළ හැකිය. එමගින්, වසංගතයෙන් පසුව තවත් ව්‍යසනයක් නිර්මාණය වීම වැළැක්විය හැකිය.
වසංගතය නිමා වූ පසුව යළිත් පැරණි සාමාන්‍ය ආකාරයට දේශපාලනය කරන්නට සිතන කිසිවෙකුටත් අනාගත දේශපාලන ලෝකයේ තැනක් හිමි නොවනු ඇත. වසංගතයේ ප්‍රහාරය අභිමුව ජන සමාජය ආරක්ෂා කිරීමට (සහ එය අලුත් ආකාරයකින් ගොඩ නැගීමට) වැඩ කරන කණ්ඩායම් වටා අනපේක්ෂිත ආකාරයකින් ජනයා පෙළ ගැසෙනු ඇත.
දැන් පැහැදිලිවම ප්‍රතිජනනාත්මක දේශපාලනයක නිරත වන වමකට අවස්ථාව තිබේ. පෙනෙන ආකාරයට දැනට ජන සමාජය ආරක්ෂා කිරීමේ දැක්මකින් යුතුව දේශපාලන අවකාශය තුළ වැඩ කරමින් සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ඉදිරියේදී තවත් පිරිස් ඒ මග ගනු ඇතැයි සිතමි.
ඉදිරියේ එළැඹෙන්නේ වසංගතය වසන්තයක් වූ පිරිසට එරෙහිව වසංගතය ව්‍යසනයක් වූවන්ගේ අරගලයයි.
මේ මොහොතේ පන්ති අරගලය යනු එයයි.
(ලියමින් සිටින ලිපි පෙළක සරල සාරාංශයක්)