Breaking News

රනිල් මතක්කර දෙන පාඩම

මේවනවිට අරගලය අවසන් බව ඇතැමෙකු පවසමින් සිටියත් අද රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශය මගින් පැහැදිලිවන්නේ එය එසේ නොවන බවයි. ධූරකාලය වසර දෙකක් පමණක් ගතවූ අසීමිත බලතල සහිත ජනාධිපතිවරයෙකු ජනතාව විසින් පන්නා දැමුවේ අරගලයකිනි. එහිදී ජනතා බලය ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තුවට, අධිකරණයට යන සියල්ලට ඉහළින් ක්‍රියාකළ හැකි ආකාරය දැකිය හැකිවිය. නමුත් රනිල් විසින් අද කරන ලද ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ ඔහු ජනතා මතයට පයින් ගසමින් නැවතත් පරණ තත්ත්වයටම රට ගෙනයාමට උත්සාහ කරන බවයි.

රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11) පැවසුවේ තමන් සිටින්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට බවයි.

අපිට දැන් අවශ්‍යව ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවද ඔහු මෙහිදී පැවසීය.

ආණ්ඩුවක් වැඩ කළ යුත්තේ නීතිය අනුව බව ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියා නොකරන බවත් මෙහිදී රනිල් වික්‍රමසිංහ පැවසීය. පිටින් ඉඳගෙන මේ වැඩ කරන්න කියලා පාර්ලිමේන්තුවට බලකරන්න බැරි බවද මෙහිදී ඔහු පැවසීය.

කඩා වැටුණු ආර්ථිකය දවසෙන් දෙකෙන් හදන්නට නොහැකි අතර මූලික පියවර තැබීමට වසරක්වත් ගතවන බව ද රනිල් පවසයි.

තම පෞද්ගලික නිවස ගිනි බත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් වෙත චෝදනා කරනුද මෙම ප්‍රකාශය තුළ දැකිය හැකිවිය.

දැන් අවශ්‍යව ඇත්තේ රනිල් වැනි බල ලෝභී පාලකයන් පන්නා දැමීමට අමතරව අරගලය තුළ එළිදැක්වූ ක්‍රියාකාරී සැලැස්මට අනුව මහජන කවුන්සිලයක් හරහා ගොඩනැගිය යුතු නව අන්තර්කාලීන පාලනය තුළ ජනතාවගේ දැවෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබා ගත යුතුව ඇත. ඒ සඳහා දැරිය යුතු පිරිවැය සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්, අයුක්තිසහගතව උපයන ලද අධික ලාභ, දේශපාලන තන්ත්‍රය ඇතුළු නිළධාරීන් විසින් සොරා කෑ ධනය යළි පවරා ගනිමින් ලබා ගත යුතුය. ඒ අතරම යළි කැඳවීමේ බලය, ජනමත විචාරණ කැඳවීමේ බලය හා විධායක ජනාධිපති ධූරය අහෝසි වන ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත කරගන්නා තුරු අරගලය අඛණ්ඩව පෙරට ගෙන යා යුතුය.

 

leave a reply