Breaking News

“Starlink” ව්‍යාපෘතිය අපේ රටට ඔරොත්තු දෙයිද?

“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ,

”එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එමඟින් මෙරට ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා.”

මේ අතර ආපසු ගෙවීමේ කොන්දේසිය මත ඇමෙරිකානු ඩොලර් 9 ක මුදලකට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ට පෙර ඇණවුම් ලියාපදිංචිය කිරීමට අවස්ථාව ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව යනු පෘථිවි පෘෂ්ඨයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථාන ගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල පද්ධතියකි.

ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට ස්ටාර්ලින්ක්, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරනු ලැබේ.

මෙම පද්ධතිය ලංකාව තුළ කෙසේ ක්‍රියාත්මක වෙයිද? එය අපේ රටට ගැලපෙන්නේද? යන්න ගැන මේවනවිට විවිධ මත පවතියි. මෙම තත්ත්වය පිළිබඳ BBC සිංහල වෙබ් අඩවිය ඉදිරිපත් කර ඇති වාර්තාවකින් උපුටා ගත් කොටස් පහත දැක්වේ.

 

ස්ටාර්ලින්ක් සේවාව නිසා ඉන්දුනීසියාවේ ඇතිවූ තත්ත්වය

ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය.

දේශීය ව්‍යාපාරිකයින් ස්ටාර්ලින්ක් උපාය මාර්ගය පිළිබඳව ප්‍රශ්න ඉස්මතු කළ අතර, එය වෙ‍‍ළඳපල තුළ අහිතකර තරගයකට තුඩු දෙනු ඇතැයි බිය පළ කර සිටියේය.

එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ත්‍රස්තවාදී හෝ බෙදුම්වාදී කණ්ඩායම් විසින් එහි සේවාවන් භාවිතා කිරීම වැළැක්වීම සඳහා ස්ටාර්ලින්ක් දත්ත ගමනාගමනය නිරීක්ෂණය කරන ලෙසද නිරීක්ෂකයින් රජයෙන් ඉල්ලා ඇත.

කෙසේවෙතත් රජය අවධාරණය කර ඇත්තේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව දැනට පවතින සියලුම අවශ්‍යතා සපුරා ඇති බවයි.

ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වරින් වර අධීක්‍ෂණය සහ ඇගයීම ද සිදු කරනු ලබන බව ඉන්දුනීසියානු රජය පවසා ඇත.

කෙසේ වුවත් ලොව ධනවතුන් අතර ප්‍රමුඛ පෙළේ ස්ථානයක පසුවන ඊලෝන් මස්ක් සතු චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල ව්‍යාපාරයක් වන ස්ටාර්ලින්ක් වෙත “අනුග්‍රහය” දක්වන ඉන්දුනීසියානු රජයේ ආකල්පය පිළිබඳව එරට දේශීය අන්තර්ජාල සේවා සපයන්නන් ප්‍රශ්න කර සිටියි.

ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජන මතු නොවන පරිදි රජය සාධාරණ ව්‍යාපාරික වාතාවරණයක් ප්‍රවර්ධනය කළ යුතු අතර ස්ටාර් හි දත්ත ගමනාගමනය නිරීක්ෂණය කළ යුතු බව නිරීක්ෂකයෝ විශ්වාස කරති.

 

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවයේ මිල ගණන් දැරීමට පුළුවන්ද ?
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය පිළිබඳව මෙරට ජනතාව අතර උනන්දුවක් පැවතුනද එහි මිල ගණන් අනුව එය මෙරට පාරිභෝගිකයින්ට සේවාව ලබා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සයිබර් ආරක්ෂක විශේෂඥවරයෙකු වන අසේල වෛද්‍යලංකාර ගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ මාසිකව ගෙවන ගාස්තුවට අමතරව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය උපාංගයන් සඳහා වෙනම මුදලක් දැරිය යුතු බවයි.

“මේක ජාත්‍යන්තර සේවාවක්, ලංකාවට එන එක හොදයි. හැබැයි තවමත් මේක තියෙන්නේ රේගුයලේටරි ඇප්රුවල් පෙන්ඩින් එකේ.”

“එක්සත් ජාතීන්ගේ සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර විදුලි සංදේශන සමාගම විසින් 2021 හෝ 2022 වසරේදී කරපු සමීක්ෂණයකට අනුව ලෝකයේ අඩුම අන්තර්ජාල සේවා පහසුකම් අවම මිලකට ලබා ගත හැකි රටක් හැටියට ලංකාව නම් කර තිබෙනවා.”

“මෙරට සාමාන්‍ය නිවසකට හෝ පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට මෙම සේවාව ලබා ගත හැකි වේවිදැයි යන ප්‍රශ්නය ගැන අපට හරියට කියන්න බැහැ.”

“කීදෙනෙකුට ඒ වෙනුවෙන් ලබා දෙන සේවාව වෙනුවෙන් මුදලක් දරන්න පුලුවන්ද කියන ගැටලුව තිබෙනවා.”

“මේකේ මාසික ගාස්තුවට අමතරව, යුනිට් කොස්ට් එක රුපියල් 80,000-90,000ක් වගේ වෙන්න පුළුවන්.”

“ලංකාවේ ස්ටාර්ලින්ක් ඔෆිස් එකක් නැති නිසා අපි දන්නේ නැහැ ඒ අය මේ යුනිට් එක පොස්ට් එකේ එව්වොත් කස්ටම් එකෙන් කොච්චර බදු මුදලක් අය කරයිද කියලා ඒකට.”

“ලංකාවේ සාමාන්‍ය අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයකට පාරිභෝගියෙකුට ගිහිල්ලා Wi-Fi සබඳතාවයක් ගන්න පුළුවන් පොඩි මුදලක් වියදම් කරලා. එතකොට තමන්ට අවශ්‍ය සේවාව මොකක්ද කියලා තීරණයක් ගන්න පාරිභෝගිකයාට අයිතිය තියෙනවා.”

“දකුණු ආසියාවේ රටවල්වල ජනතාව සේවා පහසුකම් ලබා ගැනීමේදී මිල සම්බන්ධයෙන් සංවේදී වෙනවා.”

“උදහරණයක් විදිහට ඉන්දුනීසියාවට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේදී ඔවුන්ගේ ස්ථාවර මිලට වඩා ගාණක් අඩු කළා.”

“මොකද ඉන්දුනීසියාවේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න සිටින පිරිස විශාලයි. ලෝකෙන්ම දෙවැනියට හෝ තුන්වැනියට ඉන්න විශාලම අන්ත්ජාල පාරිභෝගිකයින් පිරිස සතුවන්නේ ඉන්දුනීසියාවට.”

“නමුත් ලංකාවේ අන්තර්ජාල සේවාවන් ලබා ගන්නා පිරිස මිලියන 10ක් වගේ පිරිසක් නිසා ස්ටාර්ලින්ක් සේවාව සඳහා වන ස්ථාවර මිල ගණන් අඩු කරන්න පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ මේ සම්බන්ධයෙන් කරන ඉල්ලීම් මතයි. ඒක කරන්නේ රජයෙන්.” ඔහු කියා සිටියේය.

 

ස්ටාර්ලින්ක් සේවාව හරහා දත්ත ආරක්ෂිතයි ද ?
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව හේතුවෙන් දත්ත ආරක්ෂාවට ගැටළු මතුවේද යන්න පිළිබඳව කතිකාවතක් ඉස්මතු වූ අතර ඒ පිලිබඳව ද බීබීසී සිංහල සේවය විසින් සයිබර් ආරක්ෂක විශේෂඥ අසේල වෛද්‍යලංකාර ගෙන් විමසුවිට ඔහු ඊට ලබා දුන්නනේ මෙවන් පිළිතුරකි.

“ස්ටාර්ලින්ක් අන්තර්ජාලය සමග සම්බන්ධවෙන්න පහසුකම් සපයන තවත් සේවාවක් විතරයි.”

“ස්ටාර්ලින්ක් එක සබඳතාවය ලබාදීමේදී සහ බිල්පත් අය කිරීමේදී පාරිභෝගිකයින්ගේ යම් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.”

“හොඳම උදාහරණය තමයි ස්ටාර්ලින්ක් එක පාවිච්චි කරනවා යුක්‍රේන්වල. රුසියාව තමන්ගේ බේසික් කමියුනිකේෂන් ඉන්ටර්සෙප් කරයි කියන බයට තමයි යුක්‍රේනය ස්ටාර්ලින්ක් පාවිච්චි කරන්නේ.”

“ඇත්තටම දත්ත ආරක්ෂාව සහ ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.” ඔහු කියා සිටියේය.

මේ අතර මෙරට අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපහසු ස්ථාන වලට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේ හැකියාව පැවතීම වටිනා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“ලංකාවේ මුහුදු සීමාවේ අන්තර්ජාල පහසුකම් සීමාවෙන් ඔබ්බට ගියාම නාවුක හමුදාවේ යාත්‍රා වලට වගේම බහුදින ධීවර යාත්‍රා වලට මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම වැදගත් වනවා.”

“ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලබා දීමට නොහැකිව තිබෙන ග්‍රාමීය ස්ථාන වලට මෙම සේවාව හරහා ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්.”

“ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ දියුණුව ගැන අවදානය යොමු කර තියෙනවා. ඒ නිසා සංචාරකයෙක් ලංකාවට එද්දී ඔහුගේ ස්ටාර්ලින්ක් උපාංගය ගෙන එනවනම් ගුවන් තොටුපොලේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වගේම රේගුව කටයුතු කළ යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්.” සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර කියා සිටියේය.

leave a reply