2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේ ය.
ඒ අනුව, අභියාචනාධිකරණය නියම කළේ, පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 17 වන දා නැවත කැඳවන බව ය.
පෙත්සම කාගේ ද?
අදාළ ගැටුමේදී මිය ගිය සිරකරුවෙකු වන සම්පත් පුෂ්පකුමාර නමැත්තාගේ බිරිඳ වන මෙහෙනුවර වසන්ති නමැත්තිය මෙම ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබෙන බව සඳහන් කළේ ය.
ඒ අනුව කටයුතු කරමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබූ බව ද නීතිඥ ලක්ෂාන් ඩයස් පෙන්වා දුන්නේ ය.
නීතිපතිවරයා කරන්න ගිය දේ
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශානක විජේසිංහ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් තිබෙන හෙයින් මීට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කළේ, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා මීට පෙර දැනුම් දී තිබූ බවත් දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බවත් ය.
‘ස්ථාවර දෙකක් දරන්න නීතිපතිට බෑ’
නීතිපතිවරයාට මේ ආකාරයෙන් ස්ථාවර දෙකක් දැරීමට හැකියාවක් නොමැති බවත් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව, අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 17 වන දා නැවත කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.
වින්දිතයෝ
මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය වීමේ ඛේදවාචකය සිදුවී 2024.11.29 දිනට වසර හතරක් ගත විය.
එහිදී ඇති වූ ගැටුම්වලින් තවත් රැඳවියන් 115 දෙනෙක් තුවාල ලැබූහ.
උපුටා ගැනීම – බීබීසී සිංහල