Breaking News

“කොළඹ හය” උපදින්නෙ මේ මිනිස්සු අතරින් – නිලන්ති සුජීවා සෙනරත්

බොහොම කාලයක ඉඳලා කරන්න ඉඳපු එහෙත් කරන්න අතපසු වුණ කතාවක් අද මේ මම කියන්න හදන්නෙ.. අතපසු උනාටත් වැඩිය මේ ඩිජිටල් මෙවලම් අස්සෙ සැඟවිලා ගිය මගේ කියවීමේ පුරුද්ද ලඝු වීම නිසා සිදුවූ අත්වැරැද්දක් කිව්වත් නිවැරදියි… කොහෙන්ද මම පටන් ගන්නෙ කියලා හිතද්දි මෙන්න මෙතන තමයි වඩාත් සුදුසු කියා හැඟුණ නිසා එතනින් ම පටන් ගන්නම්…

කොළඹ හයට ආවේ මේ පාරෙන්..
මම ඉපදුණේ කොළඹ හයේ වැල්ලවත්ත කියන මහා නාගරික සමාජයේ, ශ්‍රී සුභූති පාරේ පුංචි ගෙවල් පේළියක. සමහරු ලේන් කියන, තවත් සමහරු ලයිම කියන, තවත් උන් මුඩුක්කු කියන දූප්පත් කම හැම පැත්තෙන්ම රජ වෙච්ච ගෙවල් පේළියක. උදේ ඉඳන් රෑ වෙනකන්ම මහා කලබලයක් තියෙන, මහා ඝෝෂාවක් තියෙන ගෙවල් පේළියක.ඒත් මනුස්සකම්වලින් පිරුණු මිනිස්සු ගොඩක් ඉන්න ගෙවල් පේළියක.
“කොළඹ හය” උපදින්නෙ මේ මිනිස්සු අතරින්……………
ඒවා සමහරවිට ඇත්ත ම සිදුවීම් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ‘

ඇත්තටම මෙන්න මේ වචන ටික මගේ හිතේ පතුලටම කිඳා බැස්සෙ ඇඟේ හිරිගඩු මතු කරමින් බව මං අවංකවම කියන්න කැමතියි . මම හරි ආදරෙයි මිනිස්සුන්ට ..මහ මන්දිරයක ඉපදීම කෙනෙකුට ආදරය කරන්න බාධාවක් හෝ පුංචි පේළි ගෙදරක ඉපදීම ඒ ආදරය ලබන්න සුදුසුකමක් හෝ නොවෙන බව මම මෙතනදී මතක් කරන්නම ඕන.මං ආදරය කරන්නෙ මිනිස්සුන්ගෙ අවංක කමට.. එහෙමත් නැත්නම් මවාපෑම් නැති අව්‍යාජ බවට..

ඒක හරි පහසු සරල ජීවිතයක් බව හඳුනාගත් අයට….කොටින්ම සාටෝප නැති තමන් තමන්ම විදියට හැසිරෙන ,කතාබහ කරන , හංගන හැංගෙන දේ නැති අයට මේ කියන දේවල් හොඳින්ම වැටහෙන බව මම දන්නවා.. අන්න ඒ අයට මං කියන්න කැමතියි මම හරි ආදරෙයි කියලා.

අශෝක කුලතුංග …කවියෙක් ලේඛකයෙක් විචාරකයෙක් නිවේදකයෙක් ඔය කොයි ආකාරයට බැලුවත් සාහිත්‍යය අත පත ගාන ඊට ඇලුම් කරන තමාට හැකි පමණින් සාහිත්‍යය වෙනුවෙන් සේවයක් කරන්න ලොකු උවමනාවක් තියෙන කෙනෙක්..

ඔහුගේ “කොළඹ හය ” නමින් මෑතකදී පළ කළ යොවුන් නවකතාව ඔස්සේ ඔහු අපව කැඳවාගෙන යන ඔහු ,කලක් ජීවත් වූ පරිසරය ඒ පරිසරයේ ගැහැණු මිනිස්සු ළමා ලපටි පමණක් නොව එහි තිබූ ගහ කොළ ද අප හමුවේ චිත්‍රණය කරන්නේ දසුන් නම් වූ කතා නායකයාගේ හඬින්. මඩේ ඉපදුණද ඒ මඩෙහි නොඇළෙන නෙළුමක් පරිද්දෙන් ඔහු ඒ සමාජයේ දකින විවිධ වූ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වලින් කළ යුතු සහ නොකළ යුතු දේ මොනවද යන්න තෝරා බේරා ගන්නේ ඔහුගේ තාත්තා ඔහුගේ ජීවිතය තුළ මනා පෞරුෂයක් ගොඩ නැගීමට දුන් දායකත්වය උපයෝගී කරගෙන බව මගේ හැඟීමයි. වරදටම පොළඹවන වට පිටාවක වුවද තමන් ඇසුරු කරන යහළුවන් පවා හරි මගට යොමු කර ගැනීමට අවශ්‍ය පන්නරය දසුන් ලබන්නේ ඔහුගේ දෙමව්පියන් ගේ ආභාෂය යහපත් වීම නිසා යි.

දසුන් හොඳ දරුවෙකු මෙන්ම ළමා විය ළමයෙක් ලෙස විඳි අවසාන පරපුරේ නියෝජනයක් ද වන බව මගේ අදහසයි.

නූතන ළමා පරපුරට මෙන් සියල්ලම අංග සම්පූර්ණයෙන් නොතිබුණද තිබෙන දෙයින් සහ ලැබෙන දෙයින් සතුටු වන්නටත් ඉදිරියට යන්නටත් ඔහුට හැකි වූයේ ඒ යුගයේ දරුවන් පරිකල්පන ශක්තියෙන් අද දරුවන්ට වඩා ඉදිරියෙන් සිටි නිසා බව කොළඹ හය කියවද්දී මට නැවත නැවතත් ඇති වූ හැඟීමයි..

විවිධ ශානර ඔස්සේ කතන්දර කොතෙක් බිහිවුණද තවමත් යොවුන් සාහිත්‍යය ලෙසින් නම් කළ හැකි නිර්මාණ ඇත්තේ අතළොස්සක් පමණක් වන අවදියක ඒ වෙනුවෙන් ගත් මේ උත්සාහය විශේෂයෙන් අගය කළ යුතුමයි..

ඔහු සිය පුස්තකය පිදුම් කළ ,

‘කතා ලියන්නට කතා මවපු සුභූති පාරෙ ආදරණීය ගැහැනුන් පිරිමින් මෙන්ම වැහි මාර ගහ සහ කළු ඇළටත් ‘
ආදරය කරමින් මදකට ඒ පරිසරයේම කොටසක් වෙමින්, “කොළඹ හය ”
කියවන මෙන් මම ඔබට ඇරයුම් කරන්නේ අශෝක කුලතුංග නම් වූ ඔහුට
මේ ලේඛන දිවියේ දිගු ගමනක් සාර්ථක ලෙස ගමන් කරන්නට හැකිවේවා යන
ආශීර්වාදය ද සමගයි…

 

 

leave a reply