මී මැස්සාගේ ප්රමුඛ කාර්ය මී පැණි නිෂ්පාදනය කිරීම නොවේ . මී මැස්සා මී පැණි නිෂ්පාදනය කරන්නේ තම ප්රමුඛ කාරයේ අතුරුඵලයක් ලෙසයි . ලෝකයේ පැවැත්ම තහවුරු කිරීම තම ප්රමුඛ කාර්යය බව දන්නා මී මැස්සා හැම මලකටම පියඹා ගොස් මල් හා රමණය කරයි.
මේ මොන කුණුහරපයක්ද ,
දැන් ඔබ සිතයි.
එය මා දනී .
ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ මී මැස්සන් ඇතුළු කෘමී සතුන්ගේ පැවැත්ම මත බව ජීව විද්‍යාත්මක සත්‍යයකි. ගහක මොනතරම් මල් හට ගත්තත්, ඒ එකදු මලකකටවත් බැහැ තවත් මලක් සමග තනිව පරාගනයේ යෙදෙන්න. මේ ක්‍රියාවලිය සඳහා දායකත්වය සපයන්නේ මී මැස්සන් ඇතුළු කෘමි සතුන්. මී මැස්සන් මලින් මලට පියාඹා පැණි හොයන්නට යන අතර ඒ මල් අතර ප්‍රජනන ක්‍රියාවලියට එහෙමත් නැත්නම් ඵලයක් උත්පාදනය කරන්නට අවශ්‍ය කරන ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබා දෙනවා. අප එය හඳුන්වන්නේ පරාගන ක්‍රියාවලිය ලෙසයි . ගහා වැලේ ජීවයේ ක්‍රියාවලිය ප්රමුඛ කාර්යය ඉටු කරන්නේ මි මැස්සාය. ඒ නිසා තමයි මේ කතාව ආරම්භ කරද්දී කිව්වේ මී මැස්සාගේ ප්රමුඛ කාර්යය මේ ලෝකයේ පැවැත්ම තාවුරු කිරීම බව.
මී මැස්සෝ ගැන මේ කතාව ලියන්න පාදක උනේ විලච්චියේ ප්‍රදේශයේ වට්ටක්ක ගොවියන් තම වගාවේ ඵලදාව වැඩි කර ගැනීම සඳහා පරාගන ක්‍රියාවලියේ යෙදෙන බව සඳහන් වෙන ප්‍රවෘත්තියක් ( සරුබින මවුබිම ජනවාරි 9 පලවෙන පුවත ) දැකීම. ගොවියන් ප්‍රකාශ කරන්නේ මී මැස්සන් අඩුයි ඒ නිසා ඔවුන්ගේ ඵලදාව අඩුයි කියලායි .ඵලදාව වැඩිකර ගන්න මී මැස්සාගේ කාර්යය ගොවියා කරන්න පටන් අරන්. පිරිමි වට්ටක්කා මල් කඩං ගැහැණු වට්ටක්කා මලයයි හඳුන්වන පුංචි ගෙඩිය සහිත මලේ ඇතුළත ස්පර්ශ කිරීමෙන් ඵලදාව වැඩි කරගන්නට උත්සාහ දැරීමයි. මේක විශේෂාංග පුවතක් ලෙස පුවත්පතේ පලවෙනවා. මේ පුවත දැකපු කීයෙන් කී දෙනෙක් මේකෙ බරපතලකම ගැන හිතුවද කියලා කියන්න අපි දන්නේ නැහැ. එහෙම හිතෙන්න නම් ලෝකයේ පැවැත්මයි මී මැස්සයි අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ වැටහීමක් තියෙන්න ඕනේ. ඒක නොමැති කල ඒ පුවත තවත් එක් පුවතක් පමණයි.
මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ
ඔව්
මීමැස්සන් වද වුනොත්
මහා පරිමාණ සමාගම් බිහිවී
මිනිසුන් වැඩට ගනු ඇත
මලින් මලට පියාඹා
පරාගනය කෙරුමට
වැඩමුර ගණනාවක්ම
පැය අටේ සේවයෙන් පසු
කැමතිනම් අති කාලද
මලින් මලට පියාඹා
පරාගනය කළ හැක
තාක්ෂණය දියුණුය
ඉදිරියේදී තවත් දියුණුවේය
මීමැස්සන් සේ මිනිසුන්
පියාඹා යනු ඇත
මුඛයට සවිකරගත්
සිහින් තුඩකින්
පැණි උරාගෙන ඇවිත්
මිනිස් මැසි පැණි
අතුරුඵලයක් සේ
තනනු ඇති
එවන් කාලකට
පුදුම වෙන්නට
මෙවන් කවියක්
ලියා තබනෙමි .
ඉතින් මේ මී මැස්සන් පිළිබඳ ප්රශ්නය මීට දශකයකට ඉහත සිට කතාබහට ලක්වන්නකි. ඉහල යන ගෝලීය උෂ්ණත්වය කෘමි සත්ව ප්‍රජාවගේ පැවැත්මට දැඩි පීඩාවක් එල්ල කර තිබේ. විවිධ වර්ගයේ පළිබෝධනාශක ද මේ සතුන් විනාශ කිරීමට ඉවහල් වන අතර ඉහත සඳහන් කළ ගොවියන් අත්විඳින්නේ ඒවායේ ප්‍රතිඵලය. මී මැස්සන් ඇතුළු කෘමී සතුන් විනාශ වීමෙන් පීඩාවට පත් වන්නේ සහ ඵලදාව අඩු වන්නේ පුංචි බිම් කඩවල් වල ජීවත්වීම සඳහා වගා කරන ගොවියන්ය.
ධනවාදය විසින් වර්තමාන ලෝකය ඉතා සීග්‍රයෙන් විනාශය කරා ගෙන යන බව සෑම නිදසුනකින්ම අපට මතක් කර දෙනවා . මී මැසි කෘමි සතුන් වඳ වී යෑමේ තර්ජනය සුළුවෙන් තැකිය නොහැකිය. අනාගත ලෝකය මුහුණ දෙන බරපතලම ගැටලුවලින් එකක් හැටියට ගෙන අපි පිළියම් සෙවිය යුතු ගැටලුව මී මැස්සන් ඇතුළු ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යම කෘමී සතුන් ආරක්ෂා කර ගැනීම.