දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා.
‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන තේමාව මූලික කරගනිමින් අද (27) මෙම සංවිධානය ආරම්භ කළා.
එහිදී දිලිත් ජයවීර ප්රමුඛ මව්බිම ජනතා පක්ෂය, උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය, විමල් වීරවංශ ප්රමුඛ ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වුණා.
අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබුණා.
එම ගිවිසුම පහත දැක්වේ.
එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්
සර්වජන අදිටන් සම්මුතිය
අපගේ සදාදරණීය මාතෘ භූමියත් එහි වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් යනාදි සකල විධ ජනතාවත් මුහුණ දී සිටින්නේ නිදහසින් පසු යුගයේ දැවැන්තම ආර්ථික, සමාජීය දේශපාලනික, පාරිසරික සහ සංස්කෘතික පරිහානියටයි. අප මේ අර්බූදයන්ට මුහුණ දෙන මොහොතේ ගෝලීය සන්දර්භය එකී අර්බූදයන් තීව්ර කරන්නට දායක වෙමින් පවතියි.
“මිහිතලය අයිති මිනිසාට පමණකි” යන සංකල්පයේ පිහිටා කාර්මික විප්ලවයෙන් ද හරිත විප්ලවයෙන් ද සිදු කළ දැවැන්ත පාරිසරික විනාශය හමුවේ මිනිසුන් පමණක් නොව සමස්ත මිහිතලයම අද පැවැත්මේ තර්ජනයකට මුහුණ දී සිටියි. වරක් සුළි කුණාටු ලෙසින් ද තව වරක් මහ වැසි ලෙසින් ද තවත් වරක් නියඟ ලෙසින් ද අපට දැනෙන්නේ පාරිසරික විනාශය හමුවේ සොබා දහමේ කුපිත වීමයි.
සොබා දහම මිනිස් සංහිතියේ පැවැත්මට තර්ජන එල්ල කරන මොහොතේ සාමුහිකව ඊට මුහුණ දෙනු වෙනුවට රාජ්‍යයන් ලෙස වෙන් වී මිනිස් ගුණ වලලමින් කලාපීය යුද ගැටුම් ලෝකය පුරා මතු වී ඇත. යුද ගැටුම් ලෙස ප්‍රකාශ වන්නේ සමස්ත ලෝකයම වෙලී ඇති ආර්ථික සහ සංස්කෘතික පරිහානියයි.
ලොව මුහුණ පා ඇති ආර්ථික පාරිසරික සහ සමාජීය අර්බූදයන්ට විසඳුම් ප්රගතිශීලිත්වය, පරිසර හිතකාමිත්වය, අල්පේච්ඡත්වය, සාමුහිකත්වය සහ සමානාත්මතාවය මත පදනම් වුණු අපගේ සභ්‍යත්ව රාජ්‍යය තුල ගැබ් වී ඇති බැව් අපි විශ්වාස කරමු. ජාති ආගම් භේදයකින් තොරව මේ උතුම් රට මව්බිම කරගත් සකල විධ ජනතාවගේ උරුමය වුණු අපේ සභ්‍යත්වය දැවෙන ලොව සැනසීමට සමස්ත මානව වර්ගයා වෙත දායාද කළ හැකි බව ප්‍රකාශ කරන්නේ මහත් වූ අභිමානයෙනි.
අවාසනාවට එකී උරුමයන් පසෙක දමා ජාතික ආර්ථිකය බිඳ දමමින් ආනයන මත රැඳෙන ආනයන මූල්‍යනයට වාණිජ ණය ලබා ගන්නා නව ලිබරල්වාදී ආර්ථික දැක්ම 1977න් පසු බිහි වුණු සෑම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය විය. එකී නව ලිබරල්වාදි ආර්ථික උගුලේ දිගු කාලයක් පැටලී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස අප අද ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් බංකොලොත් වුණු සිඟමන් යදින පරාධීන ජාතියක් බවට පත් වී ඇත. ණය ගැති බවේ අසරණකම අයුතු ලෙස භාවිතා කරමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද බලවත් රටවල් ද ශ්‍රී ලංකාව මත සිය ග්‍රහණය තර කරමින් සිටියි. එබැවින් වසර දහස් ගණනක් අපේ මුතුන් මිත්තන් දිවි පුදා සුරැකි ස්වාධීනත්වය අපට අහිමි වීමේ අවදානමක් ඉතිහාසයේ නොවූ විරූ ලෙසින් මතු වී ඇත.
ආනයන මත රැඳීමෙන් බිහි වුණු ගෙවුම් ශේෂ අර්බූදය හෙවත් විදේශ විනිමය අර්බූදයට අමතරව ගජ මිතුරන්ට බදු සහන ලබා දීමෙන් ද දූෂිත පාලකයින් සහ නිලධාරින් විසින් බදු පැහැර හරින්නන් රකිමින් ද දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අවම රටවල් අතරට අප මව්බිම ද තල්ලු කර ඇති අතර අතාර්කික නාස්තිකාර වියදම් හමුවේ එය රාජ්‍ය මූල්‍ය අර්බූදයක් හෙවත් අයවැය අර්බූදයක් බවට පත් කර ඇත.
ගෙවුම් ශේෂ අර්බූදයටත් රාජ්‍ය මූල්‍ය අර්බූදයටත් විසඳුම් ලෙස ඉහල පොලී මත කෙටිකාලීන වාණිජ ණය ලබා ගැනීමෙන් ද ණය ගෙවීමට දිගුකාලීන වැඩපිලිවෙලක් නොතිබීම හේතුවෙන් ණය ගෙවීම සඳහා ද ණය ලබා ගැනීමෙන් ද ණය කලමනාකරණය අභියෝගයක් බවට පෙරලමින් ණය අර්බූදයක් ද බිහි වී ඇත.
අපගේ හර පද්ධතිය විනාශ කර එහි අළු මත ඉදි කළ වත්මන් සමාජය විසින් මිනිස් ජීවිත වලට හුදු රුපියලින් අගය නියම වුණු ප්රචණ්ඩ සංස්කෘතියක් ද අවම අවශ්‍යතා ඉටු නොවීමෙන් අපේක්ෂා භංගත්වයට පත් තරුණ පරපුර මත්ද්‍රව්‍ය තුලින් ද හුදකලා වීමෙන් ද ව්‍යාජ ආශ්වාදයක් සොයන තත්වයට පත්ව සිටියි.
නිදහසින් පසු අපගේ සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නැගීමට අප අසමත් වීමෙන් ජන කණ්ඩායම් අතර පවතින අසහනය සහ අවිශ්වාසය මතු වන්නේ වාර්ගික ගැටුම් සහ ත්‍රස්තවාදි ක්‍රියා ලෙසිනි. එකී අසහනයන් රාජ්‍යය අස්ථාවර කිරීමේ ද රාජ්‍යය වක්‍රව පාලනය කිරීමේ ද මෙවලම් ලෙසින් භාවිතා කිරීමට ලෝක බලවත්තු පෙළෙඹී සිටිති.
යටත්විජිත අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් මිදීමට නොහැකි වීමේ ශාපයෙන් ජාතියේ අභිමානවත් උරුමයක් වුණු ව්‍යවසායක මනස අපට අහිමි වී නිර්මාණශීලිත්වය, සම්පත් කාර්යක්ෂම කලමනාකරණය සහ අවදානම් දැරීමේ හැකියාව අපෙන් තුරන් වී ඇත. ඒ නිසාම විජාතික සංකල්ප තුලින් අපේ ප්‍රශ්න විසඳා ගැනීමට තැත් කරන දීන ජාතියක් බවට අප පත් වී ඇත.
අපේ ආදරණීය මව්බිම මුහුණ දී ඇති මෙකී අභියෝගයන් පිළිබඳ කම්පනයට පත් වී ඇති මතු අත්සන් තබන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපි විවේචනය වෙනුවට විසඳුම් පිළිබඳ ද පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිලිවෙලක් පිළිබඳ ද විශ්වාසය තබමින් අපේ උරුමය මත දෙපා තබා ලොව සාධනීය නැවුම් ප්රවණතා උකහා ගනිමින් නැගී සිටින අදීන නවීන සුහුරු ජාතියක් බිහි කරනු වස් මතු දැක්වෙන මූලික ප්‍රතිපත්ති මේ මහ පොලවේ රෝපණය කිරීමට සාමුහිකව ප්රයත්න දැරීමේ අදිටනින් සම්මුතියට එළැඹුණු බවත් මෙකී ප්‍රතිපත්ති මත පිහිටා සැකසෙන උපායමාර්ගික වැඩසටහනක් නුදුරු දිනක ජාතියට තිලිණ කරන බවත් සමස්ත ජාතියට මෙයින් ප්‍රකාශ කර සිටිමු.
එකී අරමුණ ඉටු කර ගනු වස්
ආත්ම විශ්වාසය බිඳ වැටුණු සර්ව අශුභවාදි මානසිකත්වය වෙනුවට අභිමානය සහ ආත්ම විශ්වාසය පිරුණු ව්‍යවසායක මනසකින් යුත් අභිපේරිත ජාතියක් ගොඩ නැගීමට පදනම දැමීමට ද
දැනුමින් පිරුපුන් නිරෝගි ජාතියක් බිහි කරන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව යාවත්කාලීන කරමින් තහවුරු කිරීමට ද විශේෂ හේතු මත රැකවරණය ලැබිය යුතු ඉලක්ක ගත සියළු කණ්ඩායම් වෙත රාජ්‍ය ශුභසාධනය සැපයීමට ද
දේශීය සම්පත්, දැනුම සහ මානව ප්රාග්ධනය මත පදනම් වී රටටත් ලොවටත් අනගි දේ නිපදවන ජාතික ආර්ථිකයක් බිහි කිරීමට ද
ව්‍යවසායකත්ව මනසින් කළමනාකරණය දෙස බලන සවිමත් රාජ්‍ය, පෞද්ගලික සහ සමූපකාර අංශ ගොඩ නැගීමට ද
අපනයන වෙළඳපොල සහ භාණ්ඩ හා සේවා විවිධාංගිකරණයෙන් ද එකතු කළ අගයන් ඉහළ නැංවීමෙන් ද අපනයන ආදායම ඉහළ නැංවීමට ද එකී ආදායම මව්බිමට ගෙන එන බව තහවුරු කිරීමට ද
පසුගිය සමයේ සිදුවුණු මහ පරිමාණ දූෂණ විමර්ශනය කර සොරා ගත් ධනය ජනසතු කර වැරදිකරුවන්ට දඬුවම් කිරීමට සහ සෑම පුද්ගලයෙකුටම අනන්‍ය කේත අංකයක් ලබා දීමෙන් ද සියළුම ගෙවීම් පරිගණකගත කිරීමෙන් ද බදු පැහැර හැරීම ඇතුළු සමස්ත දූෂණය තුරන් කරන සුහුරු ආර්ථික පද්ධතියක් බිහි කිරීමට ද
තිරසර සංවර්ධන උපායමාර්ග කෘෂිකර්මය, බලශක්ති, කර්මාන්ත, ඉදිකිරීම් ආදි ක්ෂේත්රයන්ට හඳුන්වා දී මිනිසාගේ පමණක් නොව සමස්ත ජීවින්ගේ ඉදිරි පැවැත්ම තහවුරු කිරීමට ද
බහුධ්‍රැව ලෝකය අවබෝධ කර ගනිමින් ජාතික ප්‍රමුඛත්වය මත පදනම් වූ උපායමාර්ගිකව ලොව ඕනෑම රටක් හෝ රටවල් සාමුහිකයක් සමග සමතලයක සිට ගනුදෙනු කිරීමට ද
සභ්‍යත්ව රාජ්‍යයේ උරුමය මත පදනම්ව ජාති ආගම් කුල භේදයකින් තොර අභිමානවත් නවීන ජාතියක් ගොඩ නැගීමට ද
සතුට සැබෑ ධනය ලෙස දකිමින් භෞතික, මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනය තුලනාත්මක කරමින් සතුටු දැයක් නිර්මාණය කිරීමට ද
මෙයින් ශපථ කර සිටිමු.