නිසංසලා ගම්ලත් කිවිඳියකි. එසේම ඇය ගත්කරුවරියකි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය හදරා කුරුණෑගල වාරියොපල ජීවත් වෙයි. සීංහල සාහිත්‍ය සමාජයට ඇය පිවිසෙන්නේ ද මේ ග්‍රාමීය සමාජයේ දැරියක් තරුණියක් සහ මැදිවියේ කාන්තාවක් ලෙස එදිනෙදා අත්විඳිමින්ය.
ශ්‍රී ලාංකේය සාහිත්‍යයට උනන්දු කව තුළ ඇය ස්ථානගත වෙන්නේ කොතන ද යන්න මා හට අවබෝධයක් නැත. නමුත් ඇය විසින් මේ කාලය තුළ ලංකාවේ සාහිත්‍යයට තිළිණ කර ඇති දේ පිළිබඳව බොහෝ දෙනා නොදන්නවා ද විය හැකියි. ඇය 2010 වර්ෂයේ දී රචිත, ආදරය ඇබින්දක් සහ 2015 දී නාඳුනන පෙම්වතා යන කාව්‍ය සංග්‍රහයන් වෙනුවෙන් වයඹ පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ඇගයීමට පාත්‍ර වූවාය. 2015 දී පාටක් නැති මල් නැමැති නවකථාවෙන් නවකථාකරණයට පිවිසීයාය. එයත් වයඹ පළාත් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ කෘතියක් වෙයි. 2017 දී, මේ මියුරු ගුත්තිලය නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද එළි දැක්වා ඇත.
නිසංසලාගේ පළමු කෙටි නවකථාව ආලන්දරිකා (2023) නම් වෙයි. එය ගොඩගේ ප්‍රකාශනයකි. නිසංසලා අප්‍රකට ලේඛිකාවකි. එසේම ශ්‍රි ලංකාවේ සාහිත්‍ය සමාජයේ ජාලගත සම්බන්ධතාවයන්ගෙන් පොහොසත් ඇතිතයක් ද නොවෙයි. එසේවුවා නම් මෙලහකටත් මේ පොත ගැන මීට වඩා උණුසුම් කතිකාවක් සමාජය තුළ ගොඩනැඟි හමාරයි.
ආලන්දරිකා වැනි පොතක් ගොඩනැඟෙන්නේ ද නිසංසලාගේ සරල ජීවන රටාව පදනමින් බව පෙනෙයි. අගනුවරට බොහෝ ඈතින් පරිධියේ ජීවත්වන නිසංසලා වැන්නියක් නගරයේ ජීවත්වූවාන් නම් මෙවැනි අත්දැකීම් ලබන්නේ ද නැත. ග්‍රාමීය සමාජයේ එදිනෙදා ලබන විවිධ අත්දැකීම් නිසංසලාගේ පරිකල්පනයෙන් පෝෂණය වී ඇත. ලිංගිකත්වය පිළිබඳව ශාස්ත්‍රිය දෙස විමර්ශනාත්මකව බලද්දි එම පරිචයන් හා ඇගේ ග්‍රාමීය නාඩිය තක්කෙටම ගැළපේ.
ආලන්දරිකා කෙටි කතා සංග්‍රහයට අන්තර්ගත කතා 06ක් තිබේ. ඒ සඳහා ඇය ප්‍රවේශ වන්නේම , “මල් නොලද ගල් ම ලද ගැහැනුන් පාමුල මලක් කොට පුදමි” යනුවෙනි. එයින් එක් කෙටි කතාවක ප්‍රස්තූතය, “ලංකවේ ආබාධ සහිත ප්‍රජාව දෙවැනි ගණයේ පුරවැසියෙකු” ලෙස සිදුකරන සමාජීය ගොඩනැඟිම් පිළිබඳවයයි. එය ඇගේ පෞද්ගලික අත්දෑකීමක් විය හැකිය. ආබාධිතභාවය පිළිබඳව වෙනම කතා කළ යුතු මාතෘකාවක් බැවින් මගේ අවධානය වන්නේ අනෙක් කෙටි කතා 05 වෙතයි.
අනෙක් කෙටි ආඛ්‍යාන සියල්ලගෙන්ම මතුකරන්නේ, ලිංගිකත්වය හා බැඳි ස්ත්‍රීත්වයට බලෙන් පටවන ලද පීඩනනයි. මරණ මංචකයේ දී පවා ස්ත්‍රී ශරීරයක් පිහිටීම නිමිත්තෙන් ඇති කරනු ලබන හිංසනයයි.
මේ දිනවල ඉන්දියාවේ අධ්‍යාපනය ලබන බැවින් මා සමඟ නේවාසිකාරයේ නේපාලයේ ද අප්‍රිකාවේ ද ඉන්දියාවේ සිසුවියන් සමඟ ස්ත්‍රීනිමිත්ත ගැන සංවාදයේ යෙදුනෙමි. අප්‍රිකානු මහද්වීපයේ රාජ්‍යයක් වන කැමරන් රාජ්‍ය නියෝජනය කරන අවිවාහක මිතුරිය බෙදාහදා ගත් අත්දැකීම වූයේ, අවුරුදු 32ක් වූ ඇයට අවුරුදු 70ක් වයසක බිරිඳ මරුණු වයසක පිරිමියෙකුට විවාහ යෝජනාවක් තම දෙමව්පියන්ගේ අනුමැතියෙන් ගෙන ආ අත්දැකීමයි. ඒ වගේම ඇගේ රටේ බහු ස්ත්‍රී විවාහ ගැන ඇය වඳ වෙයි.
සිම්බාබේ මිතුරිය සඳහන් කලේ අප්‍රිකානු රටවල් වල පවතින ලිංගච්ඡේදනය ඇතුළු ස්ත්‍රීන්ට උපතේ සිට මුහුණ දීමට සිදුවන පීඩාවන් පිළිබඳවයි. ඇය දැන් ඇගේ අධ්‍යයන කටයුතු වල අවසානයේ සිටින බැවින් වුව ද ආපසු ඒ රටට යන්නට සිත් නොදෙයි. එහෙත් ඇය යායුතුයි.
නේපාල මිතුරිය සඳහන් කළේ, කාන්තාවන් අතර පවතින සාක්ෂරතාවය අවමවීම, අඩුවයස් විවාහ මෙන්ම විවාහක කාන්තාවන්ට දරුවන් අහිමිවීම නිසා ඇතිවන පීඩාවන් පිළිබඳ කතන්දරයි.
ඉන්දියානු දෘශ්‍යාබාධ සහිත මිතුරිය සඳහන් කළේ ඇය දෘශ්‍යාබාධිතවීමත් කාන්තාවක්වීමත් ඇගේ ශරීරික දුබලතාවයත් නිසා ඇය කුඩා කාලයේ දීම ලිංගික හිංසනයට භාජනය වූ බවයි.
ඇයගේ කෘතිය කිහිප සැරයක් කියවන විට මට හැඟුනේ ලිංගිකත්වය වැනි මාතෘකා මඟින් මතුකළ හැකි හාස්‍ය රසයට වඩා වැඩි යමක් මෙහි ගැබ්ව ඇති බවයි.
නිසංසලා අප හමුවට ගෙන එන ලලනාවන්ගේ ද විශාඛාව වැනි සුචරිතවාදී කාන්තාවන්ගේ ද මේධාවී වැනි වරදේ පැටලෙන ගැහැනුන් ද වත්සලා වැනි සංස්කෘතික පොලිසිය මෙහෙයවන ගැහැනුන් ද කන්‍යපටලය ආරක්ෂා කර ගැනීමට වෙර දරන මාලිකා ද එතනා ද බාලොලියා ද අකාලයේ මියගිය මංගලිකා ද ස්ත්‍රී නිමිත්ත නිසාම කරදරයේ වැටුණු ගැහැනුන් වෙයි. මේ සියලු කතන්දර ඉතිහාසයේ සිට වර්තනමානය දක්වා ඒකරේඛීයව චිත්‍රණය කිරීමට නිසංසලාට හැකිවී තිබේ.
ඒ සඳහා ඇය යොදා ගන්නේ ලේඛනයේ දී ඉන්ද්‍රජාලීය යථාර්ථවාදයයි. නමුත් ඇගේ මේ වෑයම පිළිබඳ මා අල්ලා ගන්නේ සමාජවිද්‍යාත්මක ප්‍රවේශයන්ගෙනි.
නිසංසලා කතා කරන ආකාරයට මේ සියලු කතන්දර වල ඇත්තේ නිසංසලා ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යොදාගෙන මතුකරන ස්ත්‍රීත්වය නැමැති ගැඹුරු ලිං පතුලේ ඇති කතන්දර වල ස්වයං පාපොච්චාරණයයි.
ප්‍රකට සංස්කෘතික විචාරකයෙකු සහ ස්ත්‍රීවාදී විශාරදයෙකු වන බෙල් හූක්ස් (1990), පුද්ගල අත්දැකීම් සහ සාමූහික ඉතිහාසය හැඩගැස්වීමේදී ඒවායේ වැදගත්කම අවධාරනය කරමින්, ඇගේ කෘතිය වන Yearning: Race, Gender, and Cultural Politics හි අවකාශයන් සැබෑ මෙන්ම පරිකල්පනය කළ හැකි බව යන සංකල්පය සාකච්ඡා කරයි. අවකාශයන්ට කතන්දර පැවසීමට සහ ඉතිහාසය දිග හැරීමට හැකිය. කලාත්මක හා සාහිත්‍ය පරිචය තුළින් අවකාශ බාධා කිරීම්, අත්පත් කර ගැනීම සහ පරිවර්තනය කළ හැකිය.නිසංසලා සිදුකර ඇත්තේ ද එයයි.
ලිංගිකත්වය හෝ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ ඇගේ ශාස්ත්‍රිය හැදෑරීම පිළිබඳ මා හට වැටහීමක් නැත. නමුත් ඇය මතුකරන අනෙක් ආඛ්‍යාන සියල්ලමක්ම, ස්ත්‍රීත්වයේ හඩ, ස්වයං පාපොච්ඡාරණය, ජීව විද්‍යාත්මක ස්ත්‍රීය, සමාජ සංස්කෘතික ජීවිතය,ස්ත්‍රීත්වය පිළිබඳව ආපසු හැරී බැලීම ආදිය වශයෙන් මෙහි එන ආඛ්‍යාන වර්ගීකරණය කළ හැකිය.
එම ආඛ්‍යාන එකිනෙකට පරිකල්පනයන් ගෙතී ඇත්තේ, බෙලට් එකක කථාවක්, ආලන්දරිකා, නඟා මැරූ උන්, සම්මාන රාත්‍රිය. රමණ මරණ ලෙසයි. සෑම ආඛ්‍යානයක ආවේණික වූ ආකෘතියක් දක්නට ලැබීම ඇගේ කෙටි කතන්දර කලාවේ විශේෂි කුසලතාවයක් ලෙස පෙනෙයි. භාෂාව කාව්‍යමය ආකාරයකින් යුක්තයි. කියවන්නාට එක හුස්මට කියවාගෙන යනන්ට තරමක් පහසුවක් දැනෙයි. බෙල්ට් එකට හෝ සපත්තුවට හෝ පුරුෂ බලය කෙරෙහි යටපත් වූ ස්ත්‍රීත්වයේ හඩ රැඩිකල් ස්ත්‍රිවාදී ප්‍රවේශයකින් පාඨකයා හමුවට ගෙන එයි. ඒ නිසා භාෂාව අමුය. මේ කතන්දර කියවන පිරිමින්ගේ පුරුෂ නිමිත්ත දෙස වතාවක් නොව ඓතිහාසිකව බලන්නට නිසංසලාගේ ලිවීම බලකරනු ලබයි.
මෙහි ඇති සියලු කතා මා කිහිපවාරයක් කියවා බැලුවෙමි. නිසංසලා ප්‍රශ්න කරන සමහර කාරණා නැවන නැවත කියවා තහවුරු කරගැනීමට අවශ්‍ය වූ හෙයිනි.
ලිංගිකත්වය යනු න්‍යායික ප්‍රවේශයකි. ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, සංස්කෘතික සහ සමාජීය බලපෑම් මගින් හැඩගැසෙන අපේ ලිංගික අත්දැකීම්, ආශාවන් සහ අනන්‍යතාවල සංකීර්ණ තත්වයන් පිළිබඳ මෙහිදී අවධාරණය කෙරේ (Weeks, 2010). එය හුදු ගැහැනියක් හෝ පිරිමියෙක්ගේ ලිංගික එක්වීම පමණක් නොව ඊට වඩා බහුවිධ අංශ නියෝජනය කරන කතිකාවකි(Weeks, 2010). මානව ලිංගිකත්වය යන්න ප්‍රජනනය ආදී ජීව විද්‍යාත්මක ක්‍රියාවලියට ඔබ්බට සාකච්ඡා කරන්නේ ලිංගිකත්වය පිළිබඳ සමාජ සංස්කෘතික ස්ත්‍රීපුරුෂ සමාජභාවීය ආදී කාරණා වල එකතුවකි (Foucault, 1978; Butler, 1990). මානව ලිංගික අන්තර් ක්‍රියා, පුද්ගයින්ගේ ලිංගික ආශයන්, හැසීරීම් ලිංගික දිශානතිය මෙන්ම අනන්‍යතා සියල්ල තීරණය වන්නේ ඉහත සන්දර්භය මතය (Rubin, 1984; Plummer, 2003).
ඒ නිසා නිසංසලා සාකච්ඡා කරන ස්ත්‍රී ශරීරයේ දේශපාලනය පිළිබඳ විමසා බැලීම වැදගත් වෙයි.
නිසංසලාගේ ආලන්දරිකා තුළින් මතු කරන්නේ, “මමත් සෙසු ගැහැනුන් සේ අතීත වනිතාවන්ගේ ම දිගුවක් ලෙසයි. මගේ හැඩය සහ පැහැය අනුව වියළි කලාපයට බොහෝ කොට නෑකම් කියතත් සෙසු කලාපවල ලතාවන්ගෙන් සමගුණ ගෙන වෙසෙමි. එහෙයින් කොරළ මල් පිපි අත්වලින් දහසකුත් එකක් වැඩපල කරන ගැහැනුන්ගෙන් කෙනෙක් වෙමි. තඹ පැහැති අග පැලී ගිය හිසකෙයෙන් යුතු හිසින් අටෝරාසියක් බර උසුලන්නියක් වීමි. පැළුම් ඇති දෙපතුලින් ආදරය සොයා ඇවිද යන ගැහැනුන්ගෙන් අයෙක් වීමි. ඔබට උණුසුම සදනට සුසුම් මැවූ ගැහැනුන්ගෙන් කෙනෙක් වීමි. ආදරය යනු කුමක්දැයි නොදැන ආදරය සෙවු ගැහැනියක්මි. ආදරය දුන් ගැහැනියක්මි. මේ පොත පිරී ඇත්තේ එබඳු ගැහැනුන්ගෙනි. උන්ගේ නේක පැහැ ගත් ආල අන්දරවලිනි”. එබැවින් මේ පොත ආලන්දරිකා නම් වෙයි.
ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආ පළමු ගැහැනියගේ සිට සංසාරයේ පුරා ක්ලේෂ ගිනි මතින් ඇවිද යන ආදරය සොයන ආදරය ම බෙදන සමස්ත ස්ත්‍රීත්වයට ම කරන සංග්‍රහක් බවයි. සැබවින්ම ස්ත්‍රීත්වයට කරන සංග්‍රහයක් වන්නේ, සියලු ස්ත්‍රීන්ට සවිඥාණිකත්වය උත්පාදනය කිරීමේ ගුණයක් මෙම සංග්‍රහයේ ඇත. එම සංග්‍රහ භුක්ති විඳීමට නම් ඒ කතන්දර අප විසින් කිව යුතුයි. ඒ ඒ තැන්වල අප ආස්ථානගත වී සිටින අවකාශය පිළිබඳ ස්වයං විශ්ලේෂණයක් සිදුකර ගත යුතුයි.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම මානවවිද්‍යාඥයෙකු වන ගණනාත ඔබේසේකර සිංහල සමාජයේ ලිංගිකත්වය පිළිබඳව මතුකරන කතිකාව මේ කෘතිය පිළිබඳ විග්‍රහයේ දී බැහැර කළ නොහැකිය. ලිංගිකත්වය යනු තහංචි මාතෘකාවක් බව ඔහු සඳහන් කරයි (Obeyesekara, 1990). එම අදහස තහවුරු කරන මානවවිද්‍යඥවරියක් වූ මාලතී අල්විස් ද ඇගේ තීසිසය තුළ එය තවදුරටත් තහවුරු කරයි(De Alwis, 1998). සමාජ මානවවිද්‍යාඥවරියක් වන සන්ධ්‍ය හේවාමාන්න ශ්‍රී ලංකාවේ ඇගළුම් කම්හලවල් පිළිබඳ අධ්‍යයනයේ දී ඒ ලිංගිකත්වය සහ බැඳුනු ස්ත්‍රීත්වය හෑල්ලුකිරීම මතුකරනු ලබයි (Hewamanne, 2008).
මා පර්යේෂණ සහායිකාවක් ලෙස වැඩ කළ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය අධ්‍යයන්‍යාංශයේ ජේන් සොරන්සොගේ ආචාර්ය උපාධි නිබන්ධනය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ස්වයං හිංසනය සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳවයි (2014-2015. එම පර්යේෂණයේ දී තරුණ ස්වයං හිංසනයට බලපාන එක් පදනම් හේතුවක් ලෙස ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය විවෘත මාතෘකවක් නොවීම පිළිබඳව ඇය විසින් ඇගේ කෘතියේ (2018) දී තහවුරු කරන ලදී. එය මා ඇසින් දුටු සාක්ෂියකි.
එසේම ලිංගික අධ්‍යාපනය, ගබ්සාව, ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ මාතෘකා පිළිබඳ මහාචාර්ය සුභාංගි හේරත්ගේ පර්යේෂණ සහායිකාව ලෙස ගත් අත්දැකීම් ද නිසංසලා මතුකරන කාරණා හා මනාව ගැළපේ. විශේෂයෙන් නව යෞවනයේ ගැහැනු ළමයින්ගේ, තරුණ ගැහැනුන්ගේ විවාහක කාන්තාවන්ගේ ලිංගිකත්වයට සම්බන්ධ කතා පීඩාකාරියි. නිසංසලා මතුකරන “නඟා මැරු උන් යන කෙටි ආඛ්‍යනයෙන් මතුකරන්නේ ද ලිංගිකත්වය සමාජයට විවෘත නොවිමේ කතන්දරයයි. එහි ඛේදවාචකයි.
“බෙල්ට් එකක කථාවක්”, යන කෙටි කථාව චරිතාරෝපිත කෙටිකථාව. කථාව කියන්නේ බෙල්ට් එකයි. නමුත් කථාවේ සුචිය වන්නේ ගැහැනු පිරිමි ලිංගිකත්වය හා බැඳි අත්දෑකීම්ය. ඒවා පිළිබඳ විටෙක කෝපයෙන්ද ජුගුප්සාජනක ආකාරයෙන්ද සහකම්පනයෙන් ද බලා සිටින්නේ අජීවී බෙල්ට් එකයි.
“කමලසිරිගේ අලුත් කදුළක් වැටුණේ අංජලීගේ ලේ තැවරී තිබුණු තැනට ය. එහෙත් තමා උරා ගත් අංජලීගේ ලේ බිංදුව වමාරන්නට බෙල්ට් එකට උවමනාවක් නොවී ය. අංජලීගේ ලේ මේධාවීගේ ලේ සමඟ එකතු වී ඝන බැම්මක් සෑදී තිබුණි.”
“ඉණ බන්දුලගේ වූ නමුත් හැමදා ම බෙල්ට් එක ඔහුගේ ඉණේ පැලදුවේ විශාඛා ය. ඇය එය කළේ ඉතා සෙමිනි. ආදරයෙනි. බෙල්ට් එක හැමදා ම ඒ මොහොත සතුටින් විඳ ගත්තේ ය. විශාඛාගේ ඇඟිලිවල පහස ඔහුට දැනුණේ අම්මෙකුගේ පිරිමැදීමක් සේ ය.”
ලංකාවේ බොහෝ පිරිමි මව්වත්කම සොයන්නේ ගෙදර ගැහැනියගෙනි. නමුත් තම ලිංගික ආශයන් පිනවා ගන්නේ වෙනත් ගැහැනුන් ඇසුරේ දී ය. කැට් වෝක් එකක් ඇති ගැහැනු බිරිඳ කරගැනීමට බොහෝ ලාංකික පිරිමින් කැමති නැත.
මව්වත් බිරිඳගේ දෑතින් ඇන්ඳ වූ බෙල්ට් එක බොහෝ විට ගැලවී ඇත්තේ වෙනත් ගැහැණුන් අතින්ය. “බෙල්ට් එක ගැලවූයේ මේධාවී ය. මේධාවීගේ ඇඟිලිවල තිබුණේ ගිනි ගන්න රස්නයකි. ඒත් ඒ ගින්නට බෙල්ට් එක ආස කළේ ය. ඒ ආසාව වැඩි වූයේ බන්දුල ඒ ගැන කියන කථා නිසා ය.
“කමලසිරියෝ…අපි බෙල්ට් එක ගලව ගන්නවට වඩා ගෑනියක් බෙල්ට් එක ගලවල ගද්දි අමුත් කික් එකක් ඒනවා”.
බෙල්ට් එකේ කථාවෙන් නිසංසලා සිදුකරන්නේ සුළුපටු ප්‍රශ්න කිරීමක් නොවේ. සංස්කෘතිය විසින් බලය පැවරූ පුරුෂත්වය උපහාසයට ලක් කිරීමයි. සංස්කෘතික ඇගයුම්, ලිංගිකත්වය යන කාරණයේ දී ස්ත්‍රීය හීලෑකරන්නට උත්සාහ කරන අතර පුරුෂයා දිගේලි කරයි. මව්වත්කම ප්‍රශ්න කිරීමත් මෙන්ම රහසිගත ලිංගික සම්බන්ධතා පිළිබඳව මතුකිරීම්, පිරිමි පාර්ශවයට දැඩි කුළුගෙඩි ප්‍රහාර එල්ල කිරීම වැනිය. ඒ කුළුගෙඩි පහරින් සංස්කෘතිය නැමැති කළුගලෙන් තැනු ඝන බිත්ති ද කැඩි බිඳී යයි. ඒ මන්ද යත් සංස්කෘතිය නිර්මාණය කරන්නේ පුරුෂ දෘෂ්ඨිවාද තුළින්ය. ඒ දෑත් වල ඇති කුණු රින්සෝ ගෝනි ගානකින්ද සේදිය නොහැකිය.
නිසංසලා බෙල්ට් එකෙන් ආමන්ත්‍රණය කරන්නේ ආදරය මුවාවෙන් එන ලිංගික හිංසනයන්. කමලසිරි ද දෙම්විපියන් වශයෙන් තමන්ගේ කිලිටු ලිංගික අතීතතය දෙස ප්‍රත්‍යවර්තනය කරනු ලබයි. පරම්පරා අතර ලිංගික සම්බන්ධතා ගලායන ආකරය සහ ඒ ඒ් පුද්ගල චරිත ලිංගිකත්වය තුළ හැසිරෙන ආකරය ප්‍රශ්න කරයි.
මිචෙල් ෆුකෝ ඔහුගේ History of Sexuality (1976) කෘතියෙහි සඳහන් කරන්නේ ද “ලිංගිකත්වය යනු ඓතිහාසික සන්දර්භයන් සහ බල ගතිකත්වයන් මගින් හැඩගැසුණු සමාජ ගොඩනැගීමක් වන බවයි. එහිදී බලය සහ දැනුම පදනම් කරගෙන ලිංගික හැසිරීම් පිළිබඳ නිශ්චිත කතිකාවන් සහ සම්මතයන් නිෂ්පාදනය කරයි”. නිසංසලා බෙල්ට් එකේ කතාවක් මඟින් මතුකරන්නේම විශාඛාගේ මව්වත්කමත් මේධාවීය වෛශ්‍යවියක් කරන නරක ගැහැනියක් ලෙස සමාජ ඛණ්ඩනයයි. ලිංගිකත්වය පිළිබඳ බල ගතිකයන්, ස්ත්‍රියට හා පුරුෂයාට සමාජය තුළ ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙනි.
මිචෙල් ෆුකෝ වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට පාසල්, පවුල් සහ සායන වැනි ආයතන ලිංගිකත්වය හික්මවීම සහ නියාමනය කරන ආකාරය නිරූපණය කරයි. කමලසිරීගේ චරිතයෙන් මතුකරන්නේ එයයි. කතාව ආරම්භයේ දීම අංජලීගේත් මේධාවීගේ ලේවල ඝනකම ගැන කතා කලේ සමාජය අපේක්ෂා කරන ලිංගික හික්මීමට නතු නොවු ගැහැනුන් ලෙසයි.
ආලන්දරිකා කතාව ද ලිංගිකත්වය පිළිබඳ ඇති විවිධ පැතිකඩයන් සාකච්ඡාජවට භාජනය කරයි.
ආලන්දරිකා කතන්දරය සයිමන් නවගත්තේගමගේ සුද්දීලාගේ කතාව සිහි පත්විය. “වට්ටක්කා ගෙඩියක් ලබා ගැනීමටත් තම ශරීරය දීමට සිදුවන්නේ සිරගත වූ සැමියා නොමැතිව දරිද්‍රතාවයෙන් ජීවත්වන සුද්දීටයි.” ආලන්දරිකා කෙටි කථාව ද ග්‍රාමීය මිනිසුන්ගේ ලිංගික සම්බන්ධතා දිහ හරින්නේ ලිංගිකත්වය පිළිබඳ වික්ටෝරියානු දෘෂ්ටිවාදයට අභියෝග කරමිනි. සංස්කෘතිය තුළ බැඳ තබන ගැහැනු මිනිසුන්ගේ ලිංගිකත්වය, කාය ශක්තිය ද, වයස් බේදය නොතකා ලිංගික සම්බන්ධතාවල යෙදුනු කාලයක් තිබුුණු බව හද්ද පිටිසර ගමක ජීවත්වන නිසංසලාගේ පරිකල්පනයට හසු වී ඇත. තවද මෙවැනි ගැහැනු මිනිසුන් ගමේ ද නගරයේ ද දැකිය හැකිය. නිසංසලා නිදහස් කරන්නේ “ ලිංගිකත්වය පිළිබඳව ඇති රහ වගේම ඇති අපුලයි. ජුගුප්සාජනක බවයි”.
නිසංසලාගේ අවසන් කෙටි කතාව, “රමණ මරණයි”. මිය ගිය ස්ත්‍රියකගේ මළ සිරුර ඇයට නව උපතක් ලබා දෙයි. ඒ අකාරයට කතාව ගොඩනඟයි. මිය ගිය වත්සලාට පෙනෙන්නේ, ඒ ස්ත්‍රී පුරුෂ සමස්ත ජීවිත අඳුරු ගුලි දෙසයි. නිසංසලා මෙහිදී ප්‍රශ්න කරන්නේ, ලිංගිකත්වය යනු සමස්තය තේරුම් ගැනීමට මිසක් හුදු ගැහැණියක් පිරිමියෙක් අතර ඇතිවන හුදු කායික ලිංගික සම්බන්ධතාවය නෙමෙයි. ලිංගිකත්වයට අදාළ ඇගයුම් ආදරය, ලිංගික සතුට, රැකවරණය, බෙදා හදා ගැනීම ලැබී තිබේද? ස්ත්‍රී ලිංගිකයක් සහිතව ඉපදීම මෝචිරියේ ද දූෂණයට ලක්වීමට ද හේතුවක් බව රමණ මරණ කෙටි කථාවෙන් නිසංසලා මතු කරයි.
නිසංසලා මෙම කතාව රචනා කරන්නේම රැඩික්ල් ස්ත්‍රීවාදී ප්‍රවේශයෙනි. Eve Ensler (2004) විසින් රචනා කරන ලද නාට්‍යයක් වන The Vagina Monologues” සිහිපත් වේ. එය විවිධ කාන්තාවන් විසින් ඉදිරිපත් කරන ලද ඒකපුද්ගල කථා මාලාවකින් සමන්විත වේ. කාන්තා අත්දැකීම්, ලිංගිකත්වය, සවිබල ගැන්වීම සහ අරගල සම්බන්ධ පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. හාස්‍යය, අවංකභාවය සහ අමු. චිත්තවේගය, මෙම නාට්‍යය කායික ප්‍රතිරූපය, ලිංගික හිංසනය, විනෝදය සහ ස්වයං-සොයාගැනීම වැනි තේමාවන් ගවේෂණය කරයි නිර්භීතකම, හාස්‍යය පිළිබඳව මෙහි සාකච්ඡා වෙයි. මෙම නාට්‍යfය් ප්‍රධාන නිළිය Monique Wilson විසින් කාන්තාවන්ට එරෙහි හිංසනයන් දැනුවත් කිරීම සඳහා ලොව පුරා පෙන්වා ඇත. මෙහි යම් කොටස් නේපාලයේ දී Monique Wilson දකුණු ආසියාතික ස්ත්‍රී එකතුවට (Sangath) ද පෙන්නුවාය.
Eve Ensler මේ සඳහා කාන්තාවන් 200 කට අධික සංඛ්‍යාවක් සම්මුඛ සාකච්ඡාවට භාජනය කළේය. ඒ අතර වැඩිහිටි කාන්තාවන්, තරුණියන්, විවාහක කාන්තාවන්, සමලිංගිකයින්, තනිකඩ කාන්තාවන්, විද්‍යාල මහාචාර්යවරුන්, නළු නිළියන්, ආයතනික වෘත්තිකයන්, ලිංගික ශ්‍රමිකයන්, අප්‍රිකානු ඇමරිකානු කාන්තාවන්, ආසියානු ඇමරිකානුවන් වැනි විවිධ පසුබිම් සහ අත්දැකීම් ඇති කාන්තාවන් ඇතුළත් විය.
කාන්තාවන් වශයෙන් අපගේ පැවැත්ම රඳා පවතින්නේ මෙම සංවාදය මතයි. නිසංසලා රමණ මරණ කෙටි කථාව තුළින් ගොඩනඟන්නේ ඒ යෝනිය හා බැඳි ඒකපුද්ගල සංවාදයයි. නමුත් එය සියලු ගැහැණුන්ට අදාළ වේ.
මිය ගිය වත්සලා සැමියාගේ බොරු ඇඩිල්ල සහ හාදු දෙමින් ශෝක රසය උපරිමයට ලබා දීම නිරීක්ෂණය කරන ආකාරය නිසංසලා ගොඩනඟන ආකාරය අපුරුය. “තමා මේ අත්දකින්නේ මරණය ගෙනා ජීවිතය බව ඇය පසක් කර ගෙන සිටියා ය.”
මාලිකා ටීචර්ගේ පමණක් නොව, සියලු ශිෂ්‍ය්‍යාවන්ගේ ද අවිවාහක ගුරුවරියන්ගේ ද කන්‍ය පටල ආරක්ෂා කිරීමේ භාරධුර වගකීම විදුල්පතිනිය වශයෙන් තමන්ගේ භාරයේ තබා ගත් බව ඈට සිහිපත් විය. ඊට අමතරව සියලු විවාහක ගුරිවරියන්ගේ ද ගමේ ගොඩේ ගැහැනුන්ගේ ද පතිව්‍රත බර ඈ මත ම පැටවී තිබුණි.
උඹටත් අපිට වුණු දේම වුණා නේද? ඒ එකියක් දත් විලිස්සා ඇසුවාය.
දැන් උඹ අයිති මට
නන්නාඳුනන ගැහැණියක් ඇයට දිරි දුන්නාය
“ඔ්කුන්ගේ නැට්ට වැට්ටුවා නම් ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි. ගෑනු අපි ඔය එක එක මනස්ගාතවලින් නිදහස් වෙන්න ම ඔ්න. එතකොට අපිට මැරිලා හරි නිදහසේ ඉන්ඩ පුළුවන්” නාඳුනන ගැහැනිය කියවා ගෙන ගියා ය.
නිසංසලා අවසානයේ දී මතුකරන ස්ත්‍රී නිමිත්ත වන” ශිශ්නය නැති ශිව ගාට ගාට ගැහැනුන් පසු පස විත් එම යෂ්ටිය ගෙන වත්සලාගේ දෑත මත තැන්පත් කළේ ය. ඒ සැහැල්ලුව සියලු කාන්තාවන්ය දැනෙන්ට විය”.
ස්ත්‍රිවාදී ප්‍රවේශයෙන් රචනා කර ඇති මේ කෘතිය සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට හේතුවනවා නියතයි. ඒ සඳහා නම් කෘතියෙන් මතුකරන සාහිත්‍යමය කරුණු වලට වඩා ශාස්ත්‍රීය කරුණු පිළිබඳ සංවාද ගොඩනැඟිය යුතුය.
නිසංසලා ගම්ලත් වැනි නිර්භය ලේඛිකාවන්ගෙන් සාහිත්‍ය සමාජය තුළ වැඩි වැඩියෙන් පහළ විය යුතුය. මෙවැනි කතාබහකට ලක්නොවූ ජනප්‍රිය නොවූ සාහිත්‍යකාරියන්ගේ මතුකිරීම් පිළිබඳ සංවාද සාකච්ඡාවන් ගොඩනැඟිය යුතුයි. නිසංසලා වැන්නියන්ගේ ප්‍රතිභාව ඉහළ නැංවීමට අවශ්‍ය දිරිය අපට දිය හැක්කේ එලෙසිනි.