Breaking News

ගැහැණු ළමයාගේ සැබෑ මිනීමරුවා කවුරු විය හැකිද ?

නුවන් තොටවත්ත

අවුරුදු දාසයක ගැහැණු ළමයෙක් පිරිමියෙක් එක්ක ලැගුම් හලකට ගිහින් අවසානයේ ලැගුම් හල අසලින් ඇයගේ මළසිරුර සොයාගනවා. ලෝකයේ කොහෙත් මේ වගේ සිද්ධීන් සිද්ධ වෙනවා. කාටවත් ම මේ දෙවල් සම්පූර්ණයෙන් නතර කරන්න බෑ. හැබැයි සමහර රටවල් වල මේ වගේ සිද්ධි අඩුවෙන් වෙනකොට , සමහර රටවල් වල , සමහර ජන සමාජ වල මේ වගේ දේවල් වැඩියෙන් වෙනවා.

තවත් දෙයක් වෙනවා. ඒ තමයි සමහර රටවල වෙන ගොඩක් සිද්ධි ලෝකයට හෙලි වෙනවා. සමහර රටවල් වල මේ වගේ සිද්ධි ගොඩක් හැංගිලා යනවා. ඒ නිසා වාර්ථා වෙන අපරාධ ගණනින් විතරක් හරියටම දෙයක් කියන්න බෑ.

හොඳම දේ අපේ රටේ ළමා අපයෝජන. අපිට වාර්තා වෙන්නේ ඇත්තටම වෙන ගනනින් හරිම ටිකයි. හැබැයි අපි හරියටම මේවට හේතු හොයාගෙන ඒව ඉවත් කලොත් මේ සිද්ධි සෑහෙන දුරට අඩු කරන්න පුලුවන්.

අපි මේ ගැහැණු දරුවාගේ සිද්ධිය ගමු. වාර්ථා වෙන හැටියට ඇයට වයස දහසය පිරිලා. ඒ කියන්නේ ඇයට තමන් කැමති නම් තමන් සමග ලිංගිකව හැසිරෙන්න තව කෙනෙකුට ඉඩ දෙන්න පුළුවන්. ලංකාවෙ මේ වයස් සීමාව තමයි දහසය.

ඇයි අපි මේ වයස දහසය කියන සීමාව නම් කරලා තියෙන්නේ?

ඒකට හේතුව තමයි ළමයෙක් ට හිතලා බලලා , මම මේ කරන්න යන වැඩෙන් මට තියෙන වාසි මොනවාද , අවාසි මොනවා ද ? මට වරදින්න පුලුවන් තැන් මොනවා ද ? ඒකෙන් වෙන්න පුලුවන් ගැටලු මෙන්න මේවා සහ ඒවාට මුහුන දෙන්න මට පුලුවන් ද ? වගේ දෙවල් තීරණය කරන්න සැලකිය යුතු වයසක් ගතවෙන බවත් , ඒ වයස අඩුම තරමින් දහසයක් වත් වෙන්න ඕන කියන සම්මතයක ට අපි ඇවිත් ඉන්න එක.

කෙනෙකුට දාසයක් කියන්නේ පොඩි වයසක් කියලා හිතෙන්න පුලුවන්. හැබැයි දාසයක් වෙනකොට ගැහැණු දරුවෙක් නම් වැඩිවිය පැමිණිලා අවුරුදු පහක් විතර ගතවෙලා. එයා ස්වාභාවිකව ලිංගික පරිණතිය ලබලා. එයාගෙ ශරීරය ඒ සඳහා සූදානම් සහ හෝමෝන නිසා එයා විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ( අපි පොඩ්ඩකට සමලිංගිකත්වය අමතක කරමු. සැලකියයුතු සාදකයක් වුණත් ) ආකර්ෂනය වෙන්න පටන් අරගෙන.

එහෙම නම් මේ සිද්ධිය , ඒ කියන්නේ මරණය සිදුවෙලා තියෙන්නේ ඇගේ තීරණය වැරදි එකක් වීම නිසා. සරලව කිවුවොත් ඇය හිතුවා තමන් යන ගමන ආරක්ෂා සහිතයි කියලා සහ පුද්ගලයා තමන්ව ආරක්ෂා කරනවා කියලා. නමුත් ඈ ගත් තීරණය වැරදියි. ඒ කියන්නේ ඇගේ තීරණ ගැණීමේ හැකියාව දුර්වලයි.

ඒ කියන්නේ ඇය හොඳ තීරණ ගැණීමේ හැකියාවකින් යුක්ත උනා නම් මේ මරණය වෙන්නේ නෑ. ඒ කියන්නේ දරුවන් ගේ තීරණ ගැණීමේ හැකියාව දියුණු වුනා නම් මෙ වර්ගයේ සිද්ධි අඩු කරගන්න පුලුවන්.

වෙලා තියෙන්නේ අපි ඔය කියන අවුරුදු දාසයේ සීමාව දමාගත්තට අවුරුදු දාසයක් අපි එක්ක ඉන්න දරුවාට අවුරුදු දාසයවෙද්දීත් මේ ටික අවබෝධ කරලා දෙන්න අපි අපොහොසත් වෙලා තියෙනවා.

දවසකට පැය හය ගානෙ අවුරුදු එකොළහක් මේ දරුවා පාසල් ගිහින් තියෙනවා. ඒ දරුවා ඉගෙනගත්තේ ඒ දරුවා තෝරාගත්ත දෙවල් නෙවෙයි. සමාජයක් රටක් හැටියට අපි එකතුවෙලා “මෙන්න මේවා තමයි ඔයා ඉගෙනගන්න ඕන” කියලා තෝරලා දීපු දේවල්. ඒ වගේම ” මෙන්න මේවා ඔයා ඉගෙනගන්න හොඳ නෑ” කියලා අපි සමහර දේවල් අයින් කරලා තියෙනවා.
එහෙනම් අපි ඒ දරුවාට ඉගෙනගන්න තෝරලා දීපු දේවල් වල ලොකු අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒකෙ වැරැද්ද අපි බාරගන්න ඕන වගේම පුලුවන් තරම් ඉක්මනින් අපි ඒක නිවැරදි කරන්න ඕන.

කෙනෙකුට කියන්න පුලුවන් මේ දේවල් එන්න ඕනෙ ගෙදරින් කියලා. ඇත්ත ළමා විය සංවර්ධනයට ගෙදර පරිසරයේ බලපෑමක් තියෙනවා තමයි. ඒත් ළමයෙක් නොදැණුවත් දෙමව්පියන් ඉන්න ගෙදරක ඉපදෙන එක ඒ ළමයාගෙ වරදක්නෙවෙයි. ඉතින් එහෙම ළමයෙක් කාගෙ හරි අතවරයකට පත් වෙන්න දීලා බලාගෙන ඉන්න එක හරිද ?
අනික් කාරණය දෙමාපියන් නොදැණුවත් කියන්නෙ ඒ දෙමාපියන් ගේ ළමා කාලය ගෙවිලා දරුවන් ලැබෙන වයසට එනකොට ඒ ගැන නිසි අවබෝධය දෙන එක කරගන්න අපේ අධ්‍යාපන ක්‍රමයට බැරි වෙලා තියෙනවා කියන එක.

මේකට තියෙන්නේ එකම ක්‍රමයයි. ඒ තමයි ප්‍රශන අහන දරුවන් පිරිසක් හදන අධ්‍යාපන ක්‍රමයක් හදන එක. හැම වෙලාවකම ඒ ඇයි කියලා අහන, තමන්ට ඇති තරම් තොරතුරු නැත්නම් ඒක පිලිගන්නේ නැති දරුවන් පිරිසක් හදන අධ්‍යාපන ක්‍රමයක් හදන එක.

කවුරුහරි ලස්සන කාර් එකක් ගෙනත් මේක මගේ කීවාම, මේක මෙයා ඉල්ලගත්ත එකක් වෙන්නත් පුලුවන්, හයර් එකට ගත්ත එකක් වෙන්නත් පුලුවන්, හොරකම් කරපු එකක් වෙන්නත් පුලුවන් කියලා හිතන, වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවලා තියෙන ලයිශන් එකේ තියෙන නම මොකද්ද කියලා බලන, ෆෙව්ස් බුක් ප්‍රොෆයිල් එකක් දැක්ක ගමන් මේක ඇත්තද බොරුද කියලා හිතන ළමයි පිරිසක් හදන්න වෙනවා.

වැඩිහිටියොන්ගෙන් තීරණය නෙවෙයි , තීරණය ගන්න ඕන කරන තොරතුරු විතරක් ඉල්ලන දරුවන් පිරිසක් හදන ක්‍රමයක් ඕන වෙනවා.

වැඩිහිටියෙක් එක්ක රූම් එකකට ගියාම තමන්ට වෙන්න පුලුවන් සියල්ල ම මේ ළමයි දැනගෙන හිටියොත් විතරයි ඔවුන් ඒ ගැන හිතන්නේ. ලිංගික චර්යා කියන්නේ මොනවාද ? සාමාන්‍ය චර්යා මොනවා ද ? විකෘති අවශ්‍යතා කියන්නේ මොනවා ද ? ස්ත්‍රී දූශනයක් කියන්නේ මොකද්ද ? අඩු වයසෙන් ගර්භණී වීමේ ප්‍රශ්න මොනවා ද ? මේ වගේ ගොඩක් දේවල් හරියටම උගන්නන්න වෙනවා.

ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය ඉගැන්නුවා කියලා මේ කිසිම දෙයක් වෙන්නේ නෑ.

අපරාධකරුවන්ට දඬුවම් දුන්නා කියලා මේ තත්වය අඩු කරන්න අමාරුයි. අපරාධ කරුවන්ට දඬුවම් කලයුතුයි. ඒ ඔව්න් කල වරදට ගෙවීමක් ලෙස. නැතුව මේ වගේ සිද්ධීන් අඩු කිරීමේ අරමුණෙන් නෙවෙයි.

දරුවන් ට විද්‍යාත්මකව හිතන හැටි – නීතිය – ප්‍රජනක සෞඛ්‍ය හරියට උගන්නන්න. අඩු වයසෙන් ගැබ් ගත්තොත් , ලිංගාශ්‍රිත රෝගයක් හැදුනොත් වෙන දේ උගන්නන්න. ලිංගික හැසිරීම් කල් දාන්න කියලා කියනවා නම් ඒවාට විද්‍යාත්මක හේතු දෙන්න. එතකොට ඔවුන් ගෙන් කොටසක් හරි බේරගන්න පුලුවන්.

ඇත්තම කිවුවොත් මේ සිද්ධිය මිනීමැරුමක් නම් ඒ මිනීමැරුමට මිනීමරුවො ගොඩක් ඉන්නවා. ප්‍රජනක සෞඛ්‍ය , ලිංගික අද්‍යාපණය වගේ වචන ඇහුන ගමන් කලබල වෙලා දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය අද්‍යාපනය කඩාකප්පල් කරන්න වැඩකරපු හැමෝම ඒ මිනීමරුවන් පෝලිමේ ඉස්සරහින් ම ඉන්නවා.

අවුරුදු දාසයක ගෑණු දරුවෙක් ලිංගික සම්බන්දතා පමා කරන්න ඕනෙ සනුහරේ මූනු වල දැලි ගෑවෙන නිසා කියලා නෙවෙයි, අනවශ්‍ය ගැබ් ගැනීමක් වෙන්න පුලුවන් නිසා, මව් මරණයකට වැඩි ඉඩක් තියෙන නිසා, ලිංගාශ්‍රිත ලෙඩ රෝග බෝවෙන්න පුලුවන් නිසා, නීති විරෝධී ගබ්සා කිරීමකට යොමු වෙන්න, ඒ නිසා මැරෙන්න පුලුවන් නිසා, අධ්‍යපනය කඩාකප්පල් වෙන නිසා, ඒ නිසා නිසි සුදුසුකම් නති නිසා හොඳ රස්සාවක් හොයාගන්න අමාරු වෙන නිසා, ආර්තිකය අතින් දුර්වල වෙලා දුක්ඛිත ජීවිතයක් ගතකරන්නවෙන නිසා කියලා උගන්නන දවසක, ඉස්කෝලෙ යන ළමයෙකුට තමන් නව යොවුන් වියට එද්දි ලිංගිකත්වය ප්‍රජනනය ගැන ඉගෙනගන්න අසභ්‍ය චිත්‍රපටි ඕනෙ වෙන්නෙ නැති අධ්‍යාපනයක් තියෙන දවසක මේ තත්වය වෙනස් වෙනවා.

ඒ වෙනස හදන්න පුලුවන් ජනතාවට විතරයි.

leave a reply