Breaking News

ගාලුමුවදොර අරගලකරුවන්ගේ විශේෂ ප්‍රකාශය

ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවෙනි,
ඔබ කෙරෙහිත් මේ සමාජය කෙරෙහිත් අසීමිත ප්‍රේමයෙන් යුතුව, අරගලය කෙරෙහි අචල විශ්වාසයෙන් යුතුව, ගාලුමුවදොර අරගලකරුවන් ලෙස, අපි ඔබට මෙසේ කියන්නෙමු.

මේ දූපත අවුලෙන් අවුලට ඇද දැමූ දුර්දාන්ත ජනාධිපතිවරයෙක් ඉන්දු සයුරෙනුත් එපිටට පළවා හැර, පවුල්වාදී වියරු ආණ්ඩුවක් දළ කඩා දණ ගැස්වූ ජනතා අරගලයේ පළමු අදියර, 2022 ජූලි නව වැනිදා කූට ප්‍රාප්තියට පත්වූ බවත්, එය, ලංකා ඉතිහාසය නිවැරදිව කියවන කිසිවකුට කිසිදා මගහැරිය නොහැකි ඓතිහාසික ජනතා ජයග්‍රහණයක් බවත්, ඒ අරගලය වෙනුවෙන් දිවි දුන්, දිරි දුන්, සිරගත වූ, ලේ කඳුළු දහදිය වැගිරූ සකලවිධ අරගලකරුවන්ගේ නාමයෙන් පළමුකොටම සටහන් කරමු.

එහෙත්, පාලක පෙලැන්තියේ ජනතා ද්‍රෝහී කූට දේශපාලනය සහමුළින් නතර වූයේ නැත. හතරගාතෙන් වැටුණු රෙජීමය, ව්‍යවස්ථාවේ වගන්ති අතරින් බඩගා රිංගා ගොස්, ව්‍යවස්ථාදායකය ජනමතයට එරෙහිව අවභාවිත කරමින්, රූකඩ පාලකයකු සමග අශුද්ධ සන්ධානයක් ගොඩනගාගෙන, නොන්ඩි ගසන පාලනයක් අටවාගත් බැවින්, පළමු අදියරේ ජය සමරන්නටත් පෙර, අරගලයේ දෙවැනි අදියර වෙත ප්‍රවේශ වන්නට අපට සිදු විය.
එතැන් සිට ඇරඹුණේ මර්දනයේ නීච මෙහෙයුමයි. අනීතික අත්අඩංගුවට ගැනීම්, අත්තනෝමතික පැහැරගැනීම්, මුග්ධ වැටලීම්, අසාධාරණ සිර කිරීම් වටයක් පාලකයන් විසින් ආරම්භ කරන ලදී. ඊනියා ජනාධිපතිත්, ඔහුගේ කළු කබායට මුවා වූ පරාජිත රෙජීමයේ වියරු අවතාරත්, ඒ වටා පෙළගැසුණු සියලු වර්ගයේ හීන දීන – නිල නොනිල බත්බැලයනුත්, ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට සහන දීම පසෙක තබා, අරගලකරුවන් මර්දනය කිරීම සිය ඒකායන ක්‍රියාමාර්ගය කරගැනීම, කැත නින්දිත නිර්ලජ්ජිත දේශපාලනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවෙනි,
අප එම මර්දනයට බිය නැති බවත් ,
යහපත්, නිදහස්, සහනශීලී සහ ගෝත්‍රවාදී නොවන සමාජ ජීවිතයක් මේ රටට උදාකර දීම සඳහා වූ අරගලය එක දශමයකින්වත් මර්දනය හමුවේ ආපසු නොහරවන බවත්, අතිමහත් විශ්වාසයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව අපි මෙසේ ප්‍රකාශකර සිටින්නෙමු.
එමෙන්ම, සාමකාමී අරගලකරුවන් සහ ප්‍රචණ්ඩ අරගලකරුවන් ලෙස ව්‍යාජ බෙදුම් රේඛා අඳිමින්, තෝරාගත් අරගලකරුවන් පිරිසකට ත්‍රස්ත ලේබලය අලවා, මර්දනය ලොව හමුවේ සාධාරණීකරණය කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී සැලසුම නිවැරදිව හඳුනාගන්නා ලෙසත් , එම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා වහ වහා පෙරට එන ලෙසත් , එදත් අදත් හෙටත් නිරායුධ සාමකාමී අරගලකරුවන් වන අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙසත් අරගලයේ නාමයෙන් අපි ඔබට ආයාචනා කරන්නෙමු.

ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවෙනි,
මර්දනයට එරෙහිව නැගී සිටින්නටත් හදිසි නීතිය – PTA ඇතුළු ත්‍රස්ත අණ පනත් වහා හකුලා ගන්නට බල කරන්නටත්, ජනතාවට සහන නොදෙන – ජනමතයක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්නටත්, ජනමතයේ විකෘති පිළිබිඹුවක් වී ඇති වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මහමැතිවරණයක් ඉල්ලා අරගල කරන්නටත්, ජනතා බලය ශක්තිමත් කරන මහජන කවුන්සිලය පිහිටුවා ගන්නටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා සටන් කරන්නටත්, මෙකී කොන්දේසි සපුරා ගනිමින් සමාජයේ ක්‍රම වෙනසක් නිර්මාණය කරන්නටත් එකාවන්ව පෙරට එන්නැයි ගාලුමුවදොර අරගලකරුවන් ලෙස දෙස්-විදෙස්හි වෙසෙන ශ්‍රී ලාංකේය ජනයාගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවෙනි,
එකී අරමුණු ජයග්‍රහණය කරගැනීම උදෙසා අප සමග එක පෙළට සිට ගැනීමට කැමති සියලු දේශපාලන බලවේග, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු සකලවිධ ප්‍රගතිශීලී පාර්ශවයන් සමග අත්වැල් බැඳ ගැනීමට ගාලුමුවදොර අරගලකරුවන් ලෙස අප සූදානම් බවත්, අරගලයේ ඊළඟ අදියරයන් ජයග්‍රහණය කරවීම උදෙසා නව ක්‍රමෝපායන් තෝරා ගන්නට අප කිසිසේත් නොපැකිලෙන බවත්, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.

ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවෙනි,
අරගලය යනු වරදක් නොවේ. එය ජනතාව සතු ශුද්ධවූ අයිතියකි. එහෙයින් අරගලයේ ජයග්‍රහණ මෙන්ම අරගලයේ ආරක්ෂාව ද තීරණය වන්නේ අරගලයේ මාවත ඔස්සේ පමණක් බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. ගේම් ගසමින් ඩීල් දමමින් ජනමතයට පිටුපා බලය පික්පොකට් ගැසූ ඊනියා නායකයින්ගේ දෙපතුල ළඟ වැටී පොදු සමා ඉල්ලන්නට අප යන්නේ නැත. දැනුවත්ව හෝ නොදැනුවත්ව සෘජුව හෝ වක්‍රව එම ඩීල්වල සහ ගේම්වල ලොකු හෝ කුඩා කොටස්කරුවන් වන්නට අප යන්නේ නැත. අප හිස නමන්නේ ජනතාව ඉදිරියේ පමණි.

ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවෙනි,
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපි සුරකින්නෙමු. ඔබ අපට දෙන ආදරයට කිසිදා නිග්‍රහ නොකරන්නෙමු.
කෙතරම් සංවාද විසංවාද මැද වුව සාමූහිකත්වය සුරකින්නටත්, අරගලයේ අවසන් ජයග්‍රහණය තෙක් අරගලය අත් නොහරින්නටත්, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ සිට එක හදින් – එක හඬින් මෙසේ ප්‍රතිඥා දෙන්නෙමු.

ගාලුමුවදොර අරගලකරුවෝ
2022 අගෝස්තු 06

leave a reply