Breaking News

ලලිත් හා කුගන් අතුරුදන්වීම ගැන සාක්ෂි දීමට ගෝඨාභය රාජපක්ෂ එකඟ වේ!

ලලිත් කුමාර් හා කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරිකයන් දෙදෙනා පැහැරගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වී ඇත. මේ අනුව, පළමුවරට, යුද සමයෙන් පසුව පුද්ගල අතුරුදන්කිරීම් සම්බන්ධ නඩුවක සාක්ෂිකාරයකු ලෙස අධිකරණය හමුවේ සාක්ෂි දීමට හිටපු ජනාධිපතිවරයාට සිදුවනු ඇත.

ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන්, යුද්ධය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා දෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය. පසුව වාර්තා වූයේ රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවය. පසුව ඔවුන් ගමන්ගත් යතුරුපැදිය කෝපායි පොලිසියේදී සොයා ගැනිණි.

මෙම නඩුවේ සාක්ෂිදීමට ජනාධිපතිවරණයට මාස කිහිපයක් තිබියදී එවු නොතීසිය අනුව ගෝඨාභය රාජපක්ෂ නොපැමිණි අතර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ ඔහු ඉල්ලා තිබුණේ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට යාම සිය ආරක්ෂාවට තර්ජනයක් බැවින් මහෙස්ත්‍රාත් අධිකරණයේ නොතීසිය අවලංගු කරන්නට නියෝගකරන ලෙසයි.

2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා යාපනයේදී ලලිත් හා කුගන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ හබයාස්කෝපුස් පෙත්සමට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත්කර තිබුණු අතර තමන් එම නඩුවට අදාළ පුද්ගලයකු නොවන බව පවසමින් ඔහු සාක්ෂිදීම ප්‍රතික්ෂේප කර සිටියේය.

2019 වසරේ සැප්තැම්බර් මස 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබුණි. එහෙත්, හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් දක්වා තිබුණේ, තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බැවින් යාපනය මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසය.
අභියාචනාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට තීන්දු කෙරිණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවත්, ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපතිධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිබිණි. අද දින ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරයා පැවසුවේ යාපනය අධිකරණයේ විභාග කෙරෙන නඩුවට සාක්ෂී දීමට සූධනම් බවය. ඒ අනුව යාපනය අධිකරණයේ නොව වෙනත් අධිකරණයක සාක්ෂී ලබාදීමට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමතකරන ලදී.

මෙම අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළ නඩුවට තවත් අතුරුදන්වූවන් 53 දෙනකුට අදාළ පැමිණිලි විභාගයට ගැනෙන අතර එවකට ආරක්ෂක අමාත්‍යංශයේ වගකිව යුතු ඉහළම නිලධාරියා වශයෙන් ගෝඨාභය රාජපක්ෂට පිළිතුරු දීමට සිදුවනු ඇත.
ලලිත් කුගන් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ සහ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් රොමේෂ් ද සිල්වා පෙනී සිටියේය.

leave a reply