මෙවර මහමැතිවරණයේදී ආසන 10-12ක් හිමිකර ගත හැකි වේ යැයි ජාතික ජන බලවේගයට සම්බන්ධ ඇතැම් කලාකරුවන් අනාවැකි පළකර ඇත. එසේ අදහස් පළකරන බහුතරය මා කලක් දන්නා හඳුනන සත්මිත්‍රයන්ය. ඔවුන් ජා.ජ.බ. සමග පෙළගැසෙනුයේ සද්භාවයෙන් බව නම් මගේ විශ්වාසයයි. එහෙත් එවැනි පසුබිමක ඒ ප්‍රකාශ ගැන මගේ අදහස් පළ කළ යුතු යැයි සිතා මෙය ලියමි. දේශපාලන සංවාදයක අවශ්‍යතාව මත ලියැවුණද මේ සටහන පළ කිරීම ප්‍රමාද කf<a මා විසින් එවැනි ජයග්‍රහණයක් වැළැක්වීමට මෙය ලියන්නේ යැයි වැරදි වටහාගැනීමක් ඇතිවීම වැළැක්වීමටය.
අපගේ පැරණි දේශපාලන ව්‍යාපාරය ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් පිහිටුවන ලද මැතිවරණ පෙරමුණ, ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විවිධ අනාවැකි, අනුමාන, විශ්ලේෂණ රාශියක් මහමැතිවරණ කාලයේ විවිධ ප්‍රමුඛ විද්වතුන් හා කලාකරුවන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ද පළකර තිබිණි. මේ වනවිටත් ඔවුන් විසින් ජා.ජ.බ. විසින් ඉදිරියේ ලබන ජයග්‍රහණ ගැනත් එයින් ජනසමාජයට අත්වන ප්‍රතිලාභ ගැනත් විවිධ අර්ථකථන සපයනු ලබයි. එහෙත් මා දකින්නේ ඒ සියල්ල සත්‍ය තත්වය වෙනුවට, හිතලු සහ මවාගත් කරුණු මත ගොඩනංවන ප්‍රලාප බවය. එක් සරල කාරණයක් ලෙස, 2004 ජනතා විමුක්ති පෙරමුණ තමන්ටම කියා මන්ත්‍රි ආසන 41 දිනාගත් බවද එයින් දෙකක් ශ්‍රීලනිපයට පුදා ඉතිරි 39 මන්ත්‍රිකම් හිමිකරගත් බවද මතකයට ගත යුතුව ඇත. අවසානයේ මන්ත්‍රි ආසන 6ක් දක්වා (අපද ක්‍රියාකාරිව සිටි) ඒ පක්ෂය පරාභවයට පත් වූ දේශපාලනය කියවා නොගෙන, මෙවර ජා.ජ.බ. පෙළගැස්ම තුළ ඇති දේශපාලනය වටහාගන්නට නොහැකිය.
2019 නොවැම්බර් ජනාධිපතිවරණයට පෙරාතුව, ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ ගාලු මුවදොර පිටියට රැස්කළ අති විශාල ජනකාය දැක උද්යෝගයෙන් අදහස් පළ කළ ඇතැම් මිතුරන් අමතා මා ලියුවේ ඒවැනි සෙනගක් දැක ‘දෑස් ගිණිකන වැටීම’ අවදානම් සහගත බවය. මා එසේ කියා සිටියේ මෙරට විකල්ප දේශපාලන බලවේග විසින් පවා එවැනි මංමුලාවීම් සිදුකරගෙන ඇති පසුබිමකය. ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් විකල්ප දේශපාලන ප්‍රවාහයක් ලෙස මා සළකන්නේ නැත. ඒ වෙනුවට පවතින සමාජ ආර්ථික ක්‍රමය වඩා හොඳ නායකත්වයක් ලබා දී ඉදිරියට පවත්වා ගෙන යාමට ඔවුන් නිරන්තරව ශපථ කර ඇත. නමුත් එහිදී ඔවුන් විසින් මැතිවරණ ජයග්‍රහණ උදෙසා විවිධ තලයන්හි ඒකරාශි කළ විවිධ සමාජ කණ්ඩායම් විසින් ජා.ජ.බ. සම්බන්ධයෙන් ඇති කරගත් අධිතක්සේරුව, බෝවන රෝගයක්ව තිබේ.
මෙය එවැනි අසනීපයක්ව තිබෙන බව මා කියන්නේ 2015 මහමැතිවරණයේදී ඔවුන් ආසන 10කට වැඩි ප්‍රමාණයක් හිමිකරගන්නා බවට කිසිදු චකිතයක් නැතිව පුරෝකථනය කරගත් තත්වය තුළය. ඇතමුන් පැවසුවේ ආසන 15-20 අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බවය. එහෙත්, ජාතික ලැයිස්තුවේ 2ක් ඇතුළුව ජ.වි.පෙ.ට හිමිකරගත හැකි වූයේ ආසන 6ක් පමණකි. මෙය ජ.වි.පෙ. වැනි ඇතැම් විකල්ප දේශපාලන පක්ෂවලට මුහුණ දෙන්නට සිදුවන යථාර්තය වුවද ඔවුන් හැමදා ඒ උගුලේ පැටලීමේ ඛේදජනක ඉතිහාසයක් ඇත.
1982 ජනාධිපතිවරණයේදී හිමිවූ ජනතා ආකර්ෂණය නිසා ජයග්‍රහණය තමන්ට හිමි වේ යැයි ඇතැම් ජ.වි.පෙ. ක්‍රියාකාරින් විසින් ඇතිකරගෙන තිබුණි. ඒහෙත් අවසානයේ ඡන්ද ලක්ෂ 2.7ක් හිමිවීමෙන් පසුව ඔවුන් දුර්මුඛව ජ.වි.පෙ. දේශපාලනය පවා අත්හැර ගිය බව සත්‍යයකි. මැතිවරණ මෙන්ම ධනපති සමාජයක දේශපාලනය තුළ ලබාගන්නා ව්‍යවහාරික දැනුම පමණක් නොව, ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව යටතේ මැතිවරණවලට තරග කිරීමේ විකෘති අත්දැකීම් අත්විඳින අප, එවැනි මුග්ධ තීරණවලින් පසුව සමාජ ව්‍යාපාරයක් ගොදුරුවන ඛේදවාචකය දෙස බලා සැනසෙන්නේ නැත. මන්ද, ඒ වනාහී අප අත්විඳිමින් සිටින ඛේදජනක වර්තමානයක පිළිබිඹුවක් පමණකි.
ජා.ජ.බ. නාමයෝජනා ලැබ පාර්ලිමේන්තුවට යන්නට සිටින සත්මිත්‍රයන් ගැන විවිධ වර්ණනා සහ ඇගයුම් සමාජ මාධ්‍යයේ පළවනවිට උපේක්ෂාවෙන් බලා සිටියෙමි. ඇතැමුන් මිතුරන් සමග එක පෙළට සිටගන්නා විට ඔවුන් අදේශපාලනික ප්‍රලාප දෙසමින් සිය පැරණි ප්‍රතිපත්තිමය ආස්ථානයන් බිඳගෙන යනු දක්නට ලැබිණි. සිදුවන්නේ සුපුරුදු පුද්ගල ප්‍රතිරූප හරහා දේශපාලන තිමිර පටලයක් මවමින් පවතින දේශපාලන ක්‍රමයේ ජාරජීර්ණ හා බිහිසුණු යථාර්ථය වසා දැමීම සහ අමතක කිරීමක් බව පැහැදිලි විය.
අප බුක්ති විඳින සමාජ ආර්ථික අර්බුදයේ සත්‍ය සමග පොරබැදීම වෙනුවට ඒ අර්බුදයේ වලිගයෙන් අල්ලන සමාජයේ ඛේදජනක යථාර්ථය, ජ.වි.පෙ. විසින් සිය පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් ආයෝජනයකර ඇත. නිවැරදිව කිවහොත් මන්ත්‍රිධුර හිමිකර ගැනීම පිණිස ජ.වි.පෙ. නායක සුලුතරයක් සතු අරමුණ වෙනුවෙන් ජ.වි.පෙ. පහළ ස්තරයන්ගේ ශ්‍රමය දීර්ඝකාලයක් තිස්සේ සූරාකෑමට ලක් විය. මෙරව ඊට අමතරව, ජ.වි.පෙ.ට සම්බන්ධ නැති බොහෝ පුද්ගලයන් ජීවිත කාලයක් දුක් මහන්සියෙන් උපයාගත් සංකේතීය ප්‍රාග්ධනය, ජ.වි.පෙ. නායක කල්ලියේ පටු අරමුණු වෙනුවෙන් ආයෝජනය කිරීමට පොළඹවා ගනු ලැබුවේ ජා.ජ.බ. නමැති ඇටවුම හරහාය.
සමාජ ආර්ථික ක්‍රමයේ නොහැකියාව විසින් මුලුමහත් මිනිස් සමාජය බිහිසුණු ඉරණමක් වෙත ඇද ගෙන යමින් සිටියදී ය වැළැක්වීම අපේ කාලයේ සමාජ වගකීමක්ව තිබියදී අප යෝජනා කරන්නේ තාවකාලික පිළියම් අත්හදා බැලීම අවසන් කළ යුතු බවය. දැන දැන රැවටීම මෙන්ම රවටනු ලැබීමෙන් පාඩම් ඉගෙන නොගැනීම බරපතළ තත්වයකි. පවතින සමාජ ආර්ථික ක්‍රමයට සුදුහුණු ගාන දේශපාලන ව්‍යාපාරයන් සමග අපට කිසිදු එකඟතාවක් නැත. සමාජ අරමුණු වෙනුවෙන් එක්ව වැඩ කිරීමේදී කිසිදු දේශපාලන පංගුපේරුවක් නැති නමුදු සමාජ ජයග්‍රහණ වෙනුවෙන් අපගේ වැඩපිළිවෙළ පසෙක දමා වෙනත් පටු අරමුණු ඇතිවුන්ගේ උගුල්වල ඇද වැටීමද අපි ප්‍රතික්ෂේප කරමු. ජා.ජ.බ. සමග එක්වන ලෙස අප සත්මිත්‍රයන් පසුගිය මැතිවරණ කාලයේ බොහෝ අවස්ථාවල කළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අපට ඇති එකම හේතුව එයයි. මෙවර මහමැතිවරණයෙන් පසුව, ප්‍රතිඵලය කුමක් වුවද අපගේ ඒ ස්ථාවරය වෙනස්වන්නේ නැත. කාලයාගේ ඇවෑමෙන් අප පවසන මේ අදහස් නිවැරදිදැයි සනාථවනු ඇත.
මේ සටහන අවසන් කිරීමට මත්තෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරමින් පොදුජන පෙරමුණේ බලයක් ගොඩනැගීමට දායකවන ඡන්දදායකයන් සම්බන්ධ ද්වේශය ප්‍රකාශවන වදන්ද ඇතැම් කලාකරු සත්මිත්‍රයන්ගෙන් මෙන්ම ජා.ජ.බ. හිතවතුන් අතුරින් මතුවෙමින් තිබෙනු දක්නට ලැබේ. සාමාන්‍යයනේ අධිතක්සේරුවෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් අපේක්ෂා කරන පිරිසකට අඩු ඡන්ද සංඛ්‍යාවක් හිමිවන විට කෝපයක් ඇතිවන බව වටහාගත හැකිය. පෙර මැතිවරණවලදී ජ.වි.පෙ. ලබන අඩු ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ජ.වි.පෙ. හිතවතුන්ගෙන් පමණක් නොව, නායකයන්ගෙන්ද නිකුත්වන්නේ මෙවැනි සුපුරුදු වදන්ය. වරක් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා පවසා තිබුණේ මැතිවරණයේදී ජනතාව ජ.වි.පෙ. දෙස නොබැලුවද රටේ සමාජ ආර්ථික ගැටලු උග්‍රවනවිට ජ.වි.පෙ. වෙතින් විසඳුම් සොයා ළංවනු ඇති බවය. අවසාන අර්ථයෙන් “ඡන්දය දීලා කෙළවා ගෙන වරෙල්ලා!” වැනි කියුම් මිස සමස්ත ජනසමාජයේ දේශපාලන අර්බුදය හා ඊට තමන්ද නියැළුණ දේශපාලනයේ ඇති වගකීම ප්‍රකාශවන්නේ නැත.
අවසන් වශයෙන් කිවහැක්කේ මෙයයි. මන්ත්‍රී ආසන කොපමණ ලබාගත්තද ජා.ජා.බ. ලකුණින් කොතරම් මිතුරන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ අසුන් ගත්තද ඔවුන් කිසියම් ජයග්‍රහණ අත්කරගන්නේද යන්න ගැන මා නම් කරදර වන්නේ නැත. මන්ද, අවසානයේ පවතින සමාජ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් ලබා දෙන දායකත්වය කොපමණද යන්න ඒ ඊනියා තාවකාලික ජය විසින් සලකුණුවන බැවිනි. ඒ නිසා සමාජ ආර්ථික ක්‍රමයේ පූර්ණ වෙනසක් වෙනුවෙන් වූ ‘විප්ලවකාරී’ ක්‍රියාකාරිත්වයට එන ලෙස ජ.වි.පෙ. සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. ජ.වි.පෙ. විසින් මූලිකවී කැඳවන ලද ජා.ජ.බ. වටා පෙළගැසුනු කලාකරුවන්ගෙන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් එයම ඉල්ලා සිටීම හැර, මේ සටහන ලිවීමෙන් වෙනත් පිරිමසා ගත යුතු කෝන්තරයක් මට නැත.