රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා කල් තැබීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මෙම පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කොට කරුණු දැක්වීම සඳහා මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්වකරුවන්ට අවසර ලබා දෙමින් අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා දක්වා කල් තැබීමට අධිකරණය ඒ අනුව තීරණය කර ඇත.
මෙම පෙත්සම අද වැඩිදුර සලකා බැලීම සඳහා එස්. තුරෙයිරාජා ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතියට අනුකූලව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට තම සේවාදායකයන් ලබා දුන් ප්‍රතිඥාව මේ වනවට ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන් කර ඇත.
මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මුදා නොහැරීම නිසාත් මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුදාහැරීම රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාත් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
මෙහිදී විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේගෙන් කරුණු විමසා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ රට තුළ වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති නිසාත්, ආදායම් ගලනය පහත වැටී ඇති නිසාත් රාජ්‍ය වියදම් සීමා කරන ලෙස දන්වමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මුදල් අමාත්‍යංශයේ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසාත්, පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතුවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහැරීම අපහසු බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සිය දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය දැනුවත් කර ඇති බවයි.
කෙසේ වෙතත් මැතිවරණයේ මූලික කටයුතු සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන 30 ක් සහ රුපියල් මිලියන 70ක් ද, පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් මිලියන 25 ක් ද, රාජ්‍ය මුද්‍රණාලය වෙත රුපියල් මිලියන 40 ක් ද දැනට මුදාහැර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත.
මෙහිදී විනිසුරුවරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් මිලියන 8000 ක පමණ මුදලක් අවශ්‍ය වන බවයි.
පළාත් පාලන මැතිවරණය 2023:ඡන්ද කල් දැමීමෙන් රටට අත්විය හැකි ප්‍රතිවිපාක මොනවාද?
මෙහිදී විනිසුරු නවාස් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම මුදල් තත්ත්වය යහපත් වන්නේ කවදාදැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමාට මෙම අවස්ථාවේදී ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත් ඊට අදාළව තම සේවා දායකයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වන බවත්ය.
එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් මෙසේ කියා ඇත : “ස්වාමීනි පළාත් පාලන ඡන්ද විමසීම කියන්නේ අත්‍යවශ්‍ය ඡන්ද විමසීමක්. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍යය ආයතන බැඳී සිටිනවා. එසේ තිබියදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කටයුතුවලට බාධා කිරීම බරපතල වරදක්. මුදල් අමාත්‍යාංශය වියදම් සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසා පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන මුදා හළ නොහැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා. මේක අනුමත කරන්න බැහැ. මැතිවරණ පැවැත්වීමේ බලය අමාත්‍ය මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යවරයා යටතට පත් කරන්න ඉඩ දෙන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම කරන්න ගියොත් මැතිවරණ පාලනය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය හෝ මුදල් අමාත්‍යවරයාට පැවරෙනවා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය වගේ ජාතික මැතිවරණත් මෙයාකාරයෙන් කල් දැමීමට ඔවුන්ට අවකාශ සැලසෙනවා. ඒක අයහපත් තත්වයක්.”
ඊට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේය :”සෑම මැතිවරණයක්ම නිසි පරිදි නීත්‍යානුකූලව පැවතිය යුතු බව අධිකරණයක් පිළිගන්නවා. නමුත් මුදල් කියන විෂය පථය තිබෙන්නේ අධිකරණය යටතේ නෙවෙයි. ඒ නිසා එම කටයුත්තට මැදිහත් වීමට අධිකරණයට තිබෙන අවකාශය බොහොම පටුයි.” ඉසේ සඳහන් කළ ඔහු මුදල් ගැටලුව සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධ ආයතන වෙත පැමිණිලි කරන ලෙස ප්‍රකාශ කර ඇත.
මෙහිදී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට භාණ්ඩාගාරයට මුදල් නොමැතිනම් මහජනතාවගෙන් මුදල් එකතුකොට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව පැවසු අතර ඊට විනිසුරු තුරෙයි රාජා දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ.
වින්සුරුවරයා පවසා ඇත්තේ මේ අවස්ථාවේදී මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් එවැනි තත්ත්වයක් යටතේ මහජනතාවගෙන් මුදල් එකතු කර මැතිවරණ පැවැත්වීම අනුමත කළ නොහැකි බවයි.
‘කැමති කෙනෙක් සිටිනවා නම් භාණ්ඩාගාරයට ගොස් මුදල් පරිත්‍යාග කළ හැකි බව’ විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා ඇත.
ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාලව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ප්‍රතිචාර දැක්වීමට මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දුන් අධිකරණය පෙත්සම නැවත මැයි මස 11 වනදා කැඳවන බව දැනුම් දී ඇත.
ඊට එකඟ නොවූ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ‘මෙය ජාතික වැදගත්කමක් සහිත ඉතා වැදගත් නඩුකරයක් බැවින් කඩිනම් දිනයක කැඳවීමට පියවර ගන්නා’ ලෙස ඉල්ලා තිබේ.
ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ මාර්තු මස නව වන දා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී මෙම පෙත්සම් විභාගය මෙයාකාරයෙන් කල් දැමීම නුසුදුසු බවයි.
මෙහිදී විනිසුරු තුරේයි රාජා සඳහන් කළේ තම අධිකරණයේ දිනපොත අනුව මෙම නඩුව කැඳවීම සඳහා ලබාදිය හැකි ආසන්නතම දිනය මැයි මස 11 වනදා බවයි.
ඒ අනුව අදාළ පෙත්සම වැඩිදුර සළකා බැලීම සදහා පෙත්සම මැයි මස 11 වනදා කැඳවන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග නිකුත් කර ඇත.