Breaking News

ජනාධිපතිගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අධිකරණ පද්ධතියට තර්ජනයක් – BASL

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අධිකරණ කාර්යයන් පිළිබඳ බලයට තර්ජනයක් එල්ල කරන බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයට සහ සමස්ත අධිකරණ පද්ධතියටම තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ගල්හේනගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මගින්, පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීම භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවද අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් `Judicial Cannibalism’ (අධිකරණ විසින්ම තමන්ගේ ගෙල සිඳගන්නවා වැනි අදහසකි) යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සමාලෝචනය කිරීමට තේරීම් කාරක සභාවක් පිහිටුවීමට යෝජනා කරමින් පසුගියදා කළ පාර්ලිමේන්තු ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කර ඇති පනත් කෙටුම්පතක් හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ බලය හෑල්ලූ කිරීමේ උත්සාහයක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට දැඩි ලෙස සලකන බවද එහි දැඩිව අවධාරණය කර ඇත.

එය සම්පූර්ණයෙන්ම සාධාරණ ප්‍රකාශයකින් ඔබ්බට ගොස් ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයට වැඩිදුරටත් නිරීක්ෂණය වන බවත් අධිකරණයට ස්වාධීනව හා බාහිර බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව තරයේ විශ්වාස කරන බත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරති.

“මෙම පනත් කෙටුම්පත රටේ උත්තරීතර නීතියට අනුකූලද යන්න තක්සේරු කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටු කර ඇත. පුද්ගලයන්ට එකඟ වීමට හෝ එකඟ නොවීමට අයිතියක් ඇතත්, ව්‍යවස්ථාදායකය හෝ විධායකය ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීම සම්බන්ධයෙන් අධිකරණය විවේචනය නොකළ යුතු” බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

අධිකරණයේ කාර්ය භාරයට ගරු කිරීම විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වගකීමක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරන අතර ඕනෑම මැදිහත්වීමක් දරුණු අහිතකර ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවත් රටේ නීතියේ ආධිපත්‍යයට සැලකිය යුතු තර්ජනයක් විය හැකි බවත් අවධාර්ණය කරයි.

leave a reply