දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට සිටි ගර්භණී කාන්තාවකට එන්නතක් ලබා දීමෙන් පසුව ඇය මිය යාමේ සිදුවීමක් වාර්තා වූයේ පසුගිය අප්‍රේල් 6 වැනිදාය.
ගන්නෝරුවේ මුරුතලාවේ පදිංචි සඳුනි මධුෂානි (27) නමැති තරුණ මවක මෙම අවාසනාවන්ත මරණයට මුහුණපෑ අතර ඇයට ලබා දුන් බව කී බියුපිවිකේන් නමැති නිර්වින්දන එන්නත රජයේ රෝහල්වල පාවිච්චි කිරීම සෞඛ්‍ය බලධාරින් විසින් අත්හිටුවනු ලැබීය. කඩාවැටෙමින් පවතින ලංකාවේ නිදහස් සෞඛ්‍යයේ තවත් ඛේදවාචකයක් හැටියට මේ සිදුවීම සටහන් වූයේ රජයේ රෝහලින් රැකවරණය පතන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් තුළ මහත් සැක සංකා මතුකරමිනි.
මවගේ මරණයෙන් පසුව පේරාදෙණිය රෝහලේ විධායකය හා සෞඛ්‍ය බලධාරීහු විවිධ ප්‍රකාශ කළහ. එහිදී නිදහස් සෞඛ්‍ය ගැන සාවධාන ජනයා බලා සිටියේ ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ කුමක්ද කියාය. ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඊට දුන් පිළිතුර වූයේ බියුපිවිකේන් එන්නත මෙරටට සැපැයූ ආයතනය කලකට පෙර ලියාපදිංචිව සිට ඇති නමුත් එම වලංගු කාලය අවසන් වීමෙන් පසුව එම ආයතනය නැවත ලියාපදිංචිය ලබා ගැනීමට ඉල්ලීමක් කර නැති බවය.
කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තම නැඟණිය මිය ගියේ නිර්වින්දන ඖෂධයේ වරදින් යැයි සැක කිරීමට තරම් කරුණු තමන්ට දැනගැනීමට ලැබුණේ යැයි සඳුනි මධුෂානිගේ වැඩිමහල් සොයුරා කියද්දී රජයේ බලධාරින් පොරොන්දු දුන්නේ සාධාරණ පරීක්ෂණයක් කිරීමටය. දේශපාලන විධායකය කුමක් කීවත් මේ සාධාරණ පරීක්ෂණයේ විශාල වගකීමක් ඖෂධ නියාමන අධිකාරියට පැවරේ. මන්දයත් ප්‍රත්‍යක්ෂ, ආරක්ෂාකාරී සහ නිවැරැදි තත්ත්වයෙන් යුතු ඖෂධ, ප්‍රත්‍යක්ෂ, ආරක්ෂාකාරී සහ නිවැරැදි තත්ත්වයෙන් යුතු වෛද්‍ය උපකරණ සහ ප්‍රත්‍යක්ෂ, ආරක්ෂාකාරී සහ නිවැරැදි තත්ත්වයෙන් යුතු සීමාස්ථ නිෂ්පාදන සාධාරණ මිලකට මහජනතාවට ලබාදෙන බවට තහවුරු කිරීම එහි ප්‍රමුඛ වගකීම වන බැවිනි.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතින් දී ඇති එම වගකීම ඉටු කිරීමට විෂය භාර ඇමැතිවරයා උපදෙස් දෙනතුරු සිටිය යුතු නැත.
එහෙත් ඒ වගකීම් පැවරීමෙන් පසුව වුව පේරාදෙණියේ තරුණ මවගේ මරණය පිළිබඳ හේතුව අබිරහසක් ලෙස තබාගැනීමට රජය කටයුතු කරමින් සිටී.
අප එවැනි චෝදනාවක් කරන්නේ අහේතුකව නොව ඊට අදාළව සෞඛ්‍ය හා දේශපාලන බලධාරියේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කරමිනි.
බියුපිවිකේන් එන්නත් සාම්පල ගෙන ඖෂධ නියාමන අධිකාරිය පරීක්ෂණයක් කරන බව පේරාදෙණිය රෝහල මෙන්ම අධිකාරියේ බලධාරීහු ද සහතික කළේ ඒ දිනවලමය.
මේ නිසාම ‘මව්බිම’ රටේ මහජනයාගේ අයිතිවාසිකමක් වූ නිදහස් සෞඛ්‍යයට අදාළ මේ ඛේදවාචකය ගැන දිගින් දිගටම පසුවිපරම් කළේ මෙය හුදු අනතුරක් නොවන හෙයිනි. එහිදී අදාළ පරීක්ෂණ වාර්තාවට කුමක් වීද යන්නත් අඩුම තරමින් එහි ප්‍රගතිය කෙබඳුදැයි සෙවීමටත් දිගින් දිගටම අපි කටයුතු කළෙමු.
එහෙත් මෙම විමසීමට අදාළව සෞඛ්‍ය බලධාරින්ගෙන් ලැබුණු ප්‍රතිචාරය රටේ නිදහස් සෞඛ්‍ය මතු නොව ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාර්ශ්වයෙන්වත් සතුටු විය හැකි නොවේ. අඩුම තරමින් අදාළ ආයතනයේ තොරතුරු නිලධාරියාගේ තොරතුරුවත් සඳහන් කර නැති ජාතික ඖෂධ නියාමන අධිකාරිය දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූයේ වරක් දෙවරක් නොවේ.
පසුව අධිකාරියේ වගකිවයුතු නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට හැකිවූයේ අධිකාරියේ සන්නිවේදනයේ බිඳවැටීම ගැන එහි සභාපතිවරයාට පැමිණිලි කර විද්‍යුත් තැපෑලෙන් ද දැනුම්දීමෙන් පසුවය. එහෙත් අපගේ ප්‍රස්තුත කරුණට අදාළව තොරතුරු ලබාදීමට ඖෂධ නියාමන අධිකාරියට හැකිවූයේ නැත.
ආයතනයක් හැටියට ඖෂධ නියාමන අධිකාරියේ මේ කුප්‍රකට ඉතිහාසය කල්තියා දන්නා නිසා තොරතුරු ලබාගැනීමට අදාළව තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ 2023.04.10 දා බියුපිවිකේන් එන්නත් පර්යේෂණ වාර්තාව ඉල්ලා සිටියෙමු.
පසුව අප්‍රේල් 19 වැනිදා අධිකාරියට ඒ බව දුරකථනයෙන් දැන්වූයේ තොරතුරු පනතට අදාළව එහි දායකත්වය ගැන අවබෝධයක් තිබූ නිසාය. අධිකාරිය දුරකථනයට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැති නිසා එහි සභාපති මහාචාර්ය එස්.ඩී ජයරත්නට ඒ ගැන දන්වන්නට සිදුවිය.
මේ නිශ්ශබ්දතාව අධිකාරියට ආවේණික දුර්ගුණයක් යැයි කී මහාචාර්යවරයා ඒ ගැන තමාට පැමිණිලි කරන්නැයි ඉල්ලා සිටියේය. පසුව ලියුම්කරු ඒ ගැන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ සන්තුසිත ඕවිටිගලට මේ දුෂ්සන්නිවේදනය ගැන විද්‍යුත් තැපෑලෙන් පැමිණිලි කළ අතර ඔහු ඊට හැරෙන තැපෑලෙන් ඇමතුමක් දී වෙබ් අඩවිය පිළිසකර කිරීමට පොරොන්දුවක් දුන්නේය.
තොරතුරු අයැදුම ලැබුණේ අප්‍රේල් 19 බව පවසමින් ඊට දින හතකට පසු අප්‍රේල් 26 දාතමින් යුතුව අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකරගෙන් පිළිතුරක් ලැබිණි. (තොරතුරු අයැදුම්පත යොමුකළේ අප්‍රේල් 10 වැනිදා විද්‍යුත් තැපෑලෙනි.
එනිසා එය 19 වැනිදා ලැබුණු බව කීම ද අමු බොරුවකි) එහි සඳහන්ව තිබුණේ අයදුම්පත ගැන ගන්නා ඉදිරි පියවර දින 14ක් තුළ ලියුම්කරුට දන්වන බවයි.
එහෙත් අද වනතුරු (ජූලි 19) ඖෂධ නියාමන අධිකාරියට ජාතික වැදගත්කමකින් යුතු වූ මේ තොරතුර ගැන දෙන්නට උත්තරයක් නැතිව තිබේ.
ඖෂධ නියාමන අධිකාරිය මෙසේ වගකීම්විරහිත ලෙස හැසිරෙද්දී පේරාදෙණියේ ඛේදවාචකයට නොදෙවැනි අධිකාරියේ මේ බිඳවැටීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට කීමට ද අපි උත්සාහ කළෙමු.
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට ගැනීමට සිදු වූ දුරකථන ඇමතුම් සංඛ්‍යාත්මකව 65කි. එහෙත් බිසී ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට හැකිවුණේ නැත. මේ අතරේ නියාමන අධිකාරියේ ඖෂධවේදීන්ගේ ගැටලුවක් ගැන කරුණු දැක්වීමට මාධ්‍ය හමුවක් පැවැත්වීමට සිදුවිය.
මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ බියුපිවිකේන් එන්නත් පරීක්ෂණයේ තත්ත්වය ගැන වාචික ඇඟ බේරාගැනීමක් කිරීමට අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය ගුණසේකරට සිදුවිය. ඔහු කීවේ එන්නත සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර ඇති බවයි. ඒ මාධ්‍ය හමුව පැවැත්වුණේ ජුනි 19 වැනිදාය. ඒ අනුව ඒ මාධ්‍ය හමුව පවත්වා ද අදට(19) මාසයක් ගතව තිබේ. සඳුනි මදුෂානි මිය ගියේ පසුගිය අප්‍රේල් 6 වැනිදාය. ඉතින් මේ මරණයේ අබිරහස විසඳාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අපි තවත් දුරකථන ඇමතුම් 65ක් ගත යුතුද?