මියගිය LTTE සාමාජිකයන් සිහි කිරීමට ඉදිකළ ස්මාරකයක් පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව කඩා දමයි

දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නැගෙනහිර පළාතේ අලුතින් ඉදිකළ මහවිරු ස්මාරකයක් අධිකරණ නියෝග මත පොලීසිය සහ වනජීවි

දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කඩා බිඳ දමා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ වසර ගණනක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ මඩකලපුව, වාලච්චේන, තරවෙයි මහාවිරු සුසාන භුමියේ නොවැම්බර් 18 වැනිදා ඉදිකළ ස්මාරකය කඩා දමා ඇත්තේ නොවැම්බර් 23 වැනි දින බවයි.

වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් භුමියක් තුළ අනවසරයෙන් ස්මාරකයක් ඉදි කර ඇති බවට වන ජීවි දෙපාර්තමේන්තුව හා පොලීසිය වාලච්චේන අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසුව එම ඉදිකිරීම ඉවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 22 දා නියෝග කර ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ යුද්ධයේදී ඝාතනයට ලක්වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන් මිහිදන් කර තිබු තරවෙයි මහාවිරු සුසාන භුමිය යුද්ධය නිමා වීමෙන් පසුව වන ජීවි දෙපාර්තමේන්තුව විසින් අත්පත්කරගන්නා ලද බවයි.

මේ අතර නොවැම්බර් 23 වැනිදා මඩකලපුව සන්දිවේලි හන්දියෙදී මහවිරු අනුස්මරණයක් පැවැත්වීමට සුදානම් වෙද්දී එම ස්ථානයට පැමිණි පොලීසිය විසින් තහනම් සංවිධානයක සාමාජිකයන් අනුස්මරණය කිරීමට ඉඩ දිය නොහැකි බවට පැවසීම නිසා එම අනුස්මරණය සිදු කිරීමට දෙමළ ජනයාට නොහැකි වී තිබේ.

එහෙත් ඝාතනයට ලක්වු කොටි සාමාජිකයන්ගේ මව්වරුන් වෙත බෙදා දීමට සුදානම් කර තිබු ආහාර ද්‍රව්‍ය බෙදා දීම සංවිධායකයන් විසින් සිදු කරන ලද බව පළාත් බද වාර්තාකරුවන් පවසති.

දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නැගෙනහිර පළාතේ සාම්පුර් පොලිස් බල ප්‍රදේශය තුළ යුද්ධයේදී ඝාතනය වු කොටි සාමාජිකයන්

අනුස්මරණය කිරීම සම්බන්ධයෙන් සති දෙකක කාලයක් සඳහා අධිකරණය විසින් උපදෙස් සහිත නියෝගයක් පනවා තිබේ.

දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනෙකු ද ඇතුළු 17 දෙනකුගේ නම් සදහන් කරමින් මුතුර් මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 23 වැනිදා නිකුත් කළ නියෝගයේ අවධාරණය කර ඇත්තේ මහවිරු අනුස්මරණ පැවැත්වීමේදී මහජනතාවට අවහිරයක් සිදු නොකළ යුතු බවයි.

සාම්පුර් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) විධිවිධාන අනුව මෙම නියෝගය නිකුත් කරන බව මුතුර් මහේස්ත්‍රාත් එච්.එම් තස්නීම් ෆව්සාන් නිකුත් කළ නියෝගයේ වැඩි දුරටත් සදහන්ය.

දෙමළ මහවිරු දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 27 වැනි දිනටයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තියේ විධිවිධාන යටතේ ඉහත ක්‍රියාදාමයට සහභාගි වන සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම නියෝගය වලංගු බව අධිකරණ නියෝගයේ තව දුරටත් සදහන්ය.

මේ අතර උතුරු පළාතේ අධිකරණ කිහිපයක් අනුස්මරණ තහනම් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම් හතරක් ප්‍රතික්ෂේප කර තිබේ.

මළවුන්ට ගෞරව දැක්වීම හින්දු සංස්කෘතියේ කොටසක් වනවා සේම, මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත. මේ කිසිවක් නැතත් මළවුන් සිහිකිරීම යනු මානව ශිෂ්ඨාචාරයේ අංගයකි .

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...