Breaking News

උන් අපේ ජීවිත කොල්ලකා ඇත. අපි ඒවා නැවත උදුරා ගත යුතුවේ.

රට වැටී ඇති අසීරුතාවෙන් ගොඩ ඒම සඳහා බදු වැඩි කරන්නට සිදුවෙන බව පසුගිය දිනක අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා. එපමණක්ද නොව කොන්දේසි විරහිතව විදෙස් රටවලින් මුදල් ආධාර ලබා ගනිමින් සිටිනවා. කිසිදු අවස්ථාවක මෙම මුදල් ආධාර ලබා ගැනීම සඳහා කිනම් කොන්දේසි වලට රට යටත් කර තිබෙනවාද කියන මහින්ද රාජපක්ෂ අගමැතිව සිටි ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ අගමැති ව සිටින මේ වර්තමාන ආණ්ඩුව රටටත් ජනතාවටත් ප්‍රකාශ කර නැහැ. එවන් වටපිටාවක් යටතේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයාගේ ඩොලර් ඉල්ලමින් ද නිවේදන නිකුත් කරමින් ආණ්ඩුව දුක්ගැනවිලි නගනවා.

ඇත්තටම මේ රට මේ තරම් ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ කාගේ වරදින්ද? ඒ සඳහා බලපෑ බොහෝ දේ තිබේ. ඒ අතරින් එකක් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු. එනම් බදු වංචාවන් සහ පාලකයන් විසින් කරනු ලැබූ හිතමිතුරු සංග්‍රහය .

බදු වංචා

“ පසුගියදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තියෙනවා නොගෙවා පැහැර හරින ලද බදු සම්බන්ධ ලේඛණය. මේකෙ තියෙනවා ‘බේලීස් පුද්ගලික සමාගම’. මේක කැසිනෝ සම්බන්ධ ආයතනයක්. මේකේ අධ්‍යක්ෂක “කුලප්පු ආරච්චිගේ දොන් අනුරාධ පෙරේරා”. මේ අනුරාධ පෙරේරා කියන්නෙ ධම්මික පෙරේරගේ මල්ලි. නමුත් මේක ධම්මික පෙරේරගෙ කියල කවුරුත් දන්නවා. මේකෙ පැහැර හරින ලද මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන පන්සිය හැත්තෑපහක් (රු. මිලියන 575). ඒ කියන්නෙ කෝටි 57ක්. ඒ මිලියන පන්සිය හැත්තෑපහක් බදු වංචා කරපු කෙනා තමයි ඩොලර් මිලියනයක් රටට ගේන්නම්, ආර්ථිකය ශක්තිමත් කරන්නම් කියල කියන්නේ.”

අනික් එකත් කැසිනෝ. ‘මරීනා කලම්බෝ රෑන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගම’. අයිතිකරුගේ නම හේවාවසම්ගේ රවීන්ද්‍රලාල් ශ්‍රීලාල් විජේරත්න. ඒ කියන්නේ “රවී විජේරත්න”. මේ ව්‍යාපාරය ගෙවිය යුතු බදු රුපියල් මිලියන හත්සිය හැටක් (රු. මිලියන 760) ගෙවීම පැහැර හැරල තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේම ‘ස්ටාර් ඩස්ට් හෝල්ඩින්’ ව්‍යාපාරය තව රුපියල් මිලියන හත්සිය හැටක් (රු. මිලියන 760) ගෙවීම පැහැර හැරල තියෙනවා.

මේ සාක්ෂිවලින් පැහැදිළියි මේ පුද්ගලයෝ කෝටි ගණන්වලින් බදු ගෙවීම පැහැර හැරල තියෙනවා. ඔවුන් සම්බන්ධ කිසිදු පියවරක් මේ වෙන තුරු අරන් නැහැ. විශේෂ අධිකරණයක් දලා මේ බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් ගෙනල්ලා ඔවුන්ගේ දේපල රාජසන්තක කරල හරි ඔවුන්ගේ බදු අය කර ගත යුතුයි.

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක් , සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි විවිධ ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පවසනවා .

‘දියවන්නාවෙ හොරු’ ජල මණ්ඩලයට තියපු පොලු

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 85 දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි 2ක් පමණ බිල් ගෙවීම පැහැර හැර ඇත.

මෙම බිල් ගෙවීම පැහැර හැරි දේශපාලකයන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සාමාජිකයන්ය. එසේම ඒ අතර පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් සහ මියගිය මැති ඇමතිවරුද වෙති.ඔවුන් අතුරින් දේශපාලනඥයන් 50 කට ආසන්න පිරිසකගේ හිඟ ජල බිල් වටිනාකම රුපියල් ලක්ෂ 6-10 අතර වන බවත් පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බව දැනගන්න තිබේ .

මේ ඔබගේ මුදල් වංචාකල ගොඩේ ඉතාම සුළු ප්‍රමාණයකි. ලෝකයට ණය නොවී අපිට කරදරයකින් තොරව ජීවත්වීමට ඇති තරම් අප සතුව මුදල් තිබේ. නමුත් ඒවා දේශපාලකයෝ සහ ඔවුන්ගේ ගජමිතුරු හිතවතුන් බෙදා හදාගෙන සිටි. එහි විපාකයක සාමාන්‍ය ජනතාවට විදින්නට සිදුවී තිබේ . ඔබ දේශපාලකයන්ට එරෙහිව නැගී සිටිනවා සේම රජයට ලැබිය යුතු මුදල් වංචා කරන ඔබගේ මුදල් සොරා ගන්න තම මඩිය තර කර ගන්නා වූ මේ වංචනිකයන්ට එරෙහිව නැගී සිටිය යුතුයි.

leave a reply