ආණ්ඩුව සීනි ප්‍රශ්නය විසදීමට වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පසෙක තිබියදී යන්නේ කොහෙද මල්ලේ පොල් ආකාරයෙන් කටයුතු කරමින් සිටියි.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඇතුළු රජයේ කර්මාන්තශාලාවලට උක් අස්වැන්න භාරගැනීම අත්හිටුවා ඇතැයි විවිධ ප්‍රදේශවල ගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරමින් සිටියි.
ඔවුන් එහිදී කියා සිටියේ විශේෂයෙන් සෙවනගල කම්හලේ යන්ත්‍රෝපකරණ , මෙවලම් පසුගිය මැයි 21 වනදා සිට අක්‍රීයවී ඇති බවත්, ආයතනය පාඩු ලබන බවත් පවසමින් බලධාරීන් තම අස්වනු මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන බවත්ය.
මෙම සීනි කර්මාන්තය මුහුණ දී ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් facebook සටහනක් දැමීම නිසා පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ නුවන් ධර්මරත්නට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ඇමතිවරයා බලපෑම් කර තිබීම සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනයක් ඇතිවිය.
එයට අලුතින්ම එකතුවූ ප්‍රවෘත්තිය වන්නේ ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියකගේ (මූල්‍ය) වැඩ තහනම් කිරීමයි.
එම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරියගේ කාර්යාලයටද ඉකුත් 4 වැනිදා සීල් කර ඒහි ලිපි ලේඛන පරික්ෂා කිරීමෙන් අනතුරුව එය පෙරේදා (05) යළිත් විවෘත කර ඇති අතර ඇය ගැන පරීක්ෂණ දිගටම කර ගෙන යන බව එම ආයතනය පවසයි.
ඉකුත් රජය සමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ මංගල කටයුත්තක් සඳහා කිසිදු ලියවිල්ලක් නොමැතිව රුපියල් ලක්ෂ හැටක් (60 00,000) ලබා දීම, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩමක ආයතනයේ වියදමෙන් නිවාඩු නිකේතනයක් අයුරින් නිවෙසක් ඉදි කිරීම සදහා විශාල මුදලක් වියදම් කිරීම ආදී චෝදනා රැසක් ඇයට විරුද්ධව පවතින බව පාලනාධිකාරිය පවසයි.
උක් අස්වැන්න මිලදී ගැනීම නවතා දැමීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රජයේ කර්මාන්ත ශාලා තුළ සීනි තොග ගොඩගැසී තිබීම සහ සීනි නිෂ්පාදනය ලාබදායි නොවීමයි. සීනි නිෂ්පාදනය ලාභදායි නොවීමට බලපා ඇත්තේ දේශීය සීනි නිෂ්පාදනය මත ක්‍රියාත්මක වැට් බදු සහ වෙනත් බදු හේතුවෙන් දේශීය සීනි මිල ඉහල යාමයි. ඒ වෙනුවට ආනයනික සීනි මිල අඩුවෙන් වෙළඳ පොළට නිකුත් කිරීමට හැකියාව පවතියි. එසේම රජයේ සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව පවතින යන්ත්‍රෝපකරණ ඉතා දුර්වල මට්ටමක පවතියි.
මේ ප්‍රශ්නය විසදීම පැත්තක තබා ආණ්ඩුව තවමත් වෙනත් දේ පිටුපස පමණක් දුවමින් සිටියි.