Breaking News

රම්සි රසීක් අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ අයිතිවාසිකම් කඩවෙලා – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි ගෙවන්නත් නියෝග

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන රම්සි රාසික් හෙවත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2020 අප්‍රේල් 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අධිකරණ වෛද්‍ය විද්‍යාගාර හා පුහුණු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්නගේ වාර්තාවක් සමඟ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

එම වාර්තාවෙන් ඔහු දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සහ පරිගණක අපරාධ පනත යටතේ වැරදි සිදු කර ඇති බවට චෝදනා එල්ල කර තිබිණි. ෆේස්බුක් සටහනක් මගින් ඔහු මෙම වැරදි සිදුකර ඇති බව සඳහන් කෙරිණි.

එම තීන්දුවේ මෙසේ සඳහන් ය.

‘අවාසනාවකට මෙන්, ප්‍රමාණවත් හේතුවක් නොමැතිව සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අයදුම්පත් බාරගැනීමේ සාමාන්‍ය ස්ථානයක් බවට මේ අධිකරණය පත්ව ඇත. එවැනි අත්අඩංගුවට ගැනීම් බොහෝ විට නීතියට පටහැනි රඳවා තබාගැනීමේ කාල සීමාවන් අනුගමනය කරයි. මෙවැනි නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් බොහොමයක් හොඳින් සලකා බැලීමේදී ඒවා පොලිස් නිලධාරීන්ට අභිමතය පරිදි බලය ක්‍රියාත්මක කිරීමට අවසර දී නොමැති අවස්ථා බවත්, එලෙස ක්‍රියාකිරීමට බලධාරී පුද්ගලයන් විසින් ඒත්තු ගන්වා ඇති බවත් අනාවරණය වේ.’

රම්සිට ඇප ලබානොදී ඔහු මාස 5කට වැඩි කාලයක් රඳවාගෙන සිටින ලදී. අවසානයේ දී ඔහු ඇප ලබාගත්තේ මහාධිකරණයෙනි. අත්අඩංගුවට ගැනීමෙන් වසර 03කට පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රම්සි රාසික් ICCPR පනත යටතේ පවරා ඇති නඩුවකින් නිදහස් කරන ලද්දේ ඔහුට විරුද්ධ චෝදනා සනාථ කර නොමැති බව දක්වමිනි.

නමුත් මූලික අයිතිවාසිකම් නඩුවේදී රජයේ පාර්ශ්වයෙන් තර්ක කළේ ඔහුගේ අදාළ ෆේස්බුක් සටහන වාර්ගික හෝ ආගමික වෛරයක් ඇති කර ඇති අතර, එය අසමගිය සහ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි බවටත් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සාධාරණ බවටත් ය.

විත්ති පාර්ශ්වය මෙහිදී තර්ක කළේ ඔහුගේ ෆේස්බුක් සටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් සහතික කර ඇති ප්‍රකාශනය ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා ඔහුට ඇති මූලික අයිතිවාසිකමක් බව ය.

නීතිපති පාර්ශ්වයේ තර්ක ප්‍රතික්ෂේප කළ අධිකරණය පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීරණය කළේය. රම්සි රාසික්ට වන්දි වශයෙන් මෙම අයදුම්පත්‍රය විභාග කිරීම සඳහා ඔහු දැරූ වියදමත් සමග රුපියල් ලක්ෂ දහයක් රජයෙන් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මීට සෘජු ව වගකිවයුතු පොලිස් නිලධාරීන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක හා අධිකරණ වෝහාරික පුහුණු ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.ඒ.එස්.කේ. සේනාරත්න (පළමු වගඋත්තරකරු) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න (දෙවන වගඋත්තරකරු) සිය මුදලින් රුපියල් 30,000 බැගින් ද මාසයක් තුළ ගෙවන ලෙස නඩු තීන්දුවෙන් නියෝග කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස ඉහළ පෙළේ බලධාරීන් සිටින බවට ඇඟවෙන නමුත් පෙත්සම්කරු ඉදිරිපත් කළ සාක්ෂි හිඟකම සහ පළමුවන වගඋත්තරකරු මෙම අත්අඩංඟුවට ගැනීම හුදෙක් තමන්ගේ තීරණයක් බව පවසා සිටීම නිසා එම බලපෑම් පිළිබඳව තීරණයකට ඒමට නොහැකි වූ බව ද නඩු තීන්දුවේ දැක්වේ.

එසේ තිබියදීත් ඉහළ පොලිස් නිලධාරීන් හෝ බලධාරීන් හෝ නිසි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති නම් එවැනි බලපෑම් පොලිස් නිලධාරීන්ට නොකළ යුතු බව අධිකරණය අවධාරණය කරයි.

නීතිඥ රම්සි බචාගේ උපදෙස් මත නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ චතුර වෙත්තසිංහ පෙත්සම්කාර රම්සි රාසික් වෙනුවෙන් පෙනීසිටියහ.

leave a reply