ආණ්ඩුව සහල් ප්රශ්නය විසඳීමේ දී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමට උත්සාහ කරන බවට මත පලවෙමින් තිබේ. මෙයට හේතුව පසුගියදා ජනාධිපතිවරයා සහභාගී වූ වැඩසටහනක දී මෝල් හිමියන් සම්බන්ධයෙන් දැක්වු අදහසයි.
එහිදී ලංකාවේ සහල් තොග සම්බන්ධ දත්ත වැරදි බවත් සහල් හිමියන් වී තොග සඟවාගෙන සිටින බව පැවසීම අසත්‍යයක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මහා පරිමාන මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව අනාවරණය වූ බවත් ඔවුන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක මෙහිදී පවසයි.
සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබුණි. එහිදී වැඩිදුරටහ් අදහස් දක්වමින්,මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු වී තොග සඟවාගෙන සිටින්නේ යැයි පැවසුනත් එය බොරුවක් බවද ජනාධිපති අනුර දිසානායක එහිදී අවධාරණය කර ඇත.
“රට තුළ වාර්ෂික සහල් අවශ්‍යතාවය සහ වී නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයේ දත්තවල බරපතල විකෘතිතාවයක් තිබෙනවා.ඒ හේතුවෙන් මෙවර සහල් ආනයනයේදී ගැටළුවකට මුහුණ දුන්නා.මෙම කන්නයේ සිට සහල් සඳහා වන උපරිම මිල එම මට්ටමේම පවත්වාගෙන යනවා. වී සඳහා වන සහතික මිලක් ඉදිරියේදී නම් කර කිසිසේත්ම එම පාලන මිළෙන් ඉහළ සහල් අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එම පාලන මිලට අලෙවි කර හැකි මුදලකට වී මිලට ගන්නා ලෙස මෝල් හිමියන්ට සහ වී මිලදී ගන්නන්ට දැනුම්දී දැනුම් දෙනවා.එමෙන්ම රජයේ ලියාපදිංචි නොවී වී තොග රැස්කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. එම තහනම සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයක සිටින්නට කට්යුතු යොදනවා.මෝල් හිමියන් රජයේ සහල් කලමණාකරණ ක්‍රියාවලියට අනුබද්ධ වී වෙළඳපොළට සහන නිකුත් කිරීම් කළ යුතුයි. එසේ නොකරන්නේ නම් ඒවාට හමුදාව මැදිහත් කරවනවා. හමුදාව මැදිහත්වී ඔවුන්ගේ යාන්ත්‍රණය හරහා සහල් නිකුත් කරනවා.” යනුවෙන් පැවසීය.
මේ අතර සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන තවත් වීඩියෝවක් දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති වීමට වසර තුනකට පමණ පෙර හිරු නාලිකාවේ පැවැති වැඩසටහනකට සම්බන්ධ වෙමින් වී මිළ සම්බන්ධයෙන් ඊයේ දැරූ මතයට හාත්පසින්ම වෙනස් බවයි.
ජනාධිපතිවරයා මෝල් හිමියන් ළඟ සහල් නැති බවත් රජයේ දත්තවල බරපතල විකෘති යක් ඇති බව කියන්නේ නම් මෝල් හිමියන් ළඟ තිබෙන සත්‍ය වී ප්‍රමාණය ගැන සංඛ්‍යාලේඛන රටට ඉදිරිපත් කළ යුතුය. නැතිනම් වසර කිහිපයකට පෙර ජනාධිපතිවරයා පවසා ඇත්තේ අසත්යකකි.
ආණ්ඩුව තවදුරටත් රැවුල සහ කැඳ සෙල්ලම නොකළ යුතුය. ආණ්ඩුව පත්කර ඇත්තේ රටේ ජනතාව යි. අනුර මේ රූපවාහිනි සාකච්ජා වේම කියන පරිදි වී යනු ජාතික සම්පතකි. වාරි මාර්ග වෙනුවෙන්, පොහොර වෙනුවෙන් වෙන් කරන්නේ රටේ ජනතාවගේ මුදල් වේ. එසේම අනුරම කියන පරිදි වී වගාව සඳහා රටේ ඉඩම් විශාල ප්‍රමාණයක් යොදාගෙන තිබේ.
එසේනම් රටේ සම්පත් මුදල් යොදවමින් කරන නිෂ්පාදනයක් සුළු පිරිසක් විසින් පාලනය කිරීම පිළිබඳ එරෙහි වීමට ආණ්ඩුවට කොන්දක් තිබිය යුතුය. ඒ ගැන තීරණය කළ යුත්තේ රටේ ජනතාවගේ පැත්තේ සිටයි. එසේ නොමැතිව රැවුල ද කැඳද න්‍යායයන් පාවිච්චි යෙන් නොවේ.