Breaking News

රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව කටින් එළියට පනියි

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී එදා ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු බව සඳහන් කළ ජනාධිපතිවරයා අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් ගේ හමුවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

”මා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. ආර්ථිකය මුළුමණින්ම කඩා වැටී තිබුණා. බිම් මට්ටමේ පාලන යාන්ත්‍රණය වගේම දේශපාලන යාන්ත්‍රණයද කඩා වැටීමට ලක්ව තිබුණා.

මහජන නියෝජිතයින්ගේ මෙන්ම ක්‍රියාකාරීන්ගේ නිවාස ගිනි තබා ඔවුන්ව බිය වද්දා පාරට බහින්නවත් පුලුවන් වාතාවරණයක් ග්‍රාමීය මට්ටමේ තිබුණේ නැහැ. පොදුජන පෙරමුණේ අයට පමණක් නොවෙයි, අනෙක් පක්ෂවල උදවියටත් පාරට බහින්න පුලුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියා නම් කලහාකාරීන් ගමේ බලය සියතට ගන්නවා. ඔවුන් උත්සාහ කළේ බිම් මට්ටමේ බලය අල්ලා ගැනීමටයි.

මේ අභියෝග පරාජය කරමින් ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන ඒමට මට හැකි වුණා. මේ ගමනේදී විරෝධතා මෙන්ම උද්ඝෝෂණවලට ද අපට මුහුණ දීමට සිදු වුණා.

මේ පසුබිම තුළ පළාත් පාලන මැතිවරණය පැමිණියා. නමුත් ඒ සඳහා එදා මුදල් වෙන්කර දීමට ශක්තියක් තිබුණේ නැහැ. එදා ඒ ඡන්දයට වඩා මුදල් වෙන් කරමින් ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබුණා. ඖෂධ, ඉන්ධන ආදිය ආනයනය සඳහා මුදල් වැය කිරීමට සිදුව තිබුණා.

ඒ අවස්ථාවේ එවකට පැවති මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය සම්බන්ධව නීතිපතිතුමාගෙන් උපදෙස් නොගෙන සාලිය පීරිස් මහතාගෙන් උපදෙස් ලබා ගත්තා. එය වැරදි ක්‍රියාවක් බව කිව යුතුයි. කෙසේ හෝ පසුව එහි සාමාජිකයින් ඉල්ලා අස් වුණා. අලුත් කණ්ඩායමක් පත් වුණා. ඒ අවස්ථාවේදීද මා සත්‍ය ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට රටේ මුදල් නැති බව මා නැවත ප්‍රකාශ කළා.

මේ ආකාරයට ක්‍රියා නොකර, ආර්ථිකය ගොඩ නැඟීම පසක තබා ඡන්දය පැවැත්වීමට මා ක්‍රියාකළා නම්, අද මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම කළා නම් එදා රට තිබූණ තැනින් ගොඩ ඒමට හැකි වෙයිද? අස්වැසුමට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් වෙන් කරන්න පුළුවන් වෙයිද? උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකි වෙයිද? එහෙම වුනා නම් මේ එකක්වත් අපට කරන්න හැකි වෙන්නේ නැහැ.

කෙසේ හෝ මේ අභියෝග මතින් ඉදිරියට පැමිණ රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ඒ නිසාම අද ජනතාව අතේ මුදල් තිබෙනවා. මේ රටේ දුක් විඳින සාමාන්‍ය ජනතාවට යම් සහනයක් ලබා දීමට මට අවශ්‍ය වුණා. ඒ අනුව ඔවුන්ට අස්වැසුම ලබා දීමට කටයුතු කළා. සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නා. උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලැබුණා. මහල් නිවාසවල ජීවත් වන අයට නිවාස අයිතිය ලබා දෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන ද ආරම්භ කර තිබෙනවා.

විමධ්‍යගත අයවැය මඟින් බිම් මට්ට‍මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කර දීමට අපට හැකි වුණා. මෙම ක්‍රියා මාර්ග නිසා ජනතාවට අද සහනයක් ලැබී තිබෙනවා.

එදා රටේ විශාල පිරිසක් ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්දය ලබා දෙන බවයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒ අය අද වන විට හොයා ගන්නත් නැහැ. තවත් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන බව ප්‍රකාශ කළා. අද ඔවුන්ද නිහඬයි. අප දියත් කළ ශක්තිමත් වැඩපිළිවෙල නිසා ඔවුන්ට ජනතාව අතරට යාමට නොහැකි වී තිබෙනවා. අප ඇතිකර තිබෙන බලවේගයට ඔවුන්ට මුහුණ දීමට නොහැකි වී තිබෙනවා.

ඊට ඔවුන් ළඟ පිළිතුරු නැහැ. නමුත් අපේ ව්‍යාපාරය තාම ආරම්භ කළා පමණයි.

අද මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාට අසාධාරණයක් සිදුව තිබෙන බව අප පිළිගන්නවා. මේ සම්බන්ධව නීතිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට අප සැලසුම් කර තිබෙනවා. කෙසේ හෝ එළඹෙන ඡන්දයෙන් පසු දැනට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අප පියවර ගන්නවා. නාම යෝජනා භාර දී අවුරුද්දක් ගත වූ පසු නැවත ඡන්දය පැවැත්විය නොහැකියි. අලුත් අයටද තරග කිරීමට අවස්ථාව දිය යුතුයි. 1988 ප්‍රාදේශීය සභා ඡන්ද සඳහා නාමයෝජනා භාරගත් අයුරු මට මතකයි. නමුත් ඒ කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා එම නාම යෝජනා සියල්ල අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවනු ලැබුවා.

මේ අනුව අලුතින් ක්‍රියාකර ඔබ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. ප්‍රාදේශීය මට්ටමින් ජනතාව අතරට යෑමට ඔබට අද හොඳ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ජනතාව අතරට ගොස් ඒ අය සමඟ සත්‍ය කතා කරන්න. අප පැමිණි කටුක ගමන ගැන ජනතාව තුළ තිබෙන අවබෝධය තවත් වැඩි කරන්න පියවර ගන්න. ඔබට එය කළ හැකියි.

ජනතා විමුක්ති පෙරමුණ සහ සමඟි ජනබලවේගය මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වනවා. වසරක් පමණ ඔවුන් දුවලා තිබෙනවා. ඔවුන් තවත් දිවිය යුතුයි. අපි වෙලාවට අපේ වැඩ කටයුතු ආරම්භ කරමු. මට කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා.”

leave a reply