Breaking News

නිරෝධායන නීතියට මුවාවී ඉංජිනේරු සේවක අරගලය සඳහා මැදිහත්වූ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ඉංජිනේරු සංස්ථා සේවක උද්ඝෝෂණ අතරතුර කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය විසින් සේවක දඩයම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ දිනයේ සිට විරෝධතාවක් දියත්කර තිබුණි. අද එම විරෝධතාවය සඳහා මැදිහත්වෙමින් සිටි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

සේවකයන් නව දෙනෙකුගේ වැඩ තහනම් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ පරිපාලනය ගෙනයන කම්කරු මර්දනයට එරෙහිව මේ වනවිට සේවකයන් දෙදෙනා ආයතනයේ වහල මත නැගී විරෝධය දක්වමින් ඊයේ රාත්‍රිය වන තුරුත් රැඳී සිටි බව වාර්තා විය.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නගමුව, ඉංජිනේරු සංස්ථා සේවකයන් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීතිය යොදාගෙනයි.

විරෝධතා සහ මහජන රැස්වීම් තහනම් කරමින් මේ වනවිට ආණ්ඩුවට එරෙහිව මතු වී තිබෙන විරෝධතා හා මහජන ඒකරාශි වීම් වැළැක්වීමට ඊයේ (06) පොලිස් නිවේදනයක් නිකුත් කර තිබුණි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ආණ්ඩුව විසින් ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධතා මර්දනය සඳහා නිරෝධායන නීතිය යොදාගනු දක්නට ලැබුණි. පසුගිය වසරේ පෙ.ස.ප. පැවැත්වූ ජෝජ් ෆ්ලොයිඩ් උද්ඝෝෂණය, මෝදර ධීවර අරගලය , කොතලාවල පනතට එරෙහිව පැවති අන්තරේ උද්ඝෝෂණය, සහ මෑතකදී ජවිපෙ විසින් පැවැත්වූ ගොවි උද්ඝෝෂණය නිරෝධායන නීතිය දඩ මීමා කරගනිමින් මර්දනය කරනු දක්නට ලැබුණි.

ඊට අමතරව සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩල විසින් ගෙනගිය අරගලයේදී ඔවුන්ගේ විරෝධතා අට්ටාලයද කඩා බිඳ දැම්මේ නිරෝධායන නීතිය යොදා ගනිමිනි.

වසංගතය නිසා උද්ගතවී ඇති සුවිශේෂී ප්‍රශ්නවලට අමතරව දැනට වැඩකරන ජනතාව මුහුණ දෙමින් සිටින අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවට උත්තර නොමැත. එම ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවට වසංගත පාලනයට යොදාගත යුතු නීති ජනතා සටන් මර්දනයට යොදාගනු දිගින් දිගටම දක්නට ලැබේ. ආණ්ඩුව මෙය සිදුකරමින් සිටින්නේ ජනතා විරෝධී පනත් රැසක් පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කටයුතු සූදානම් කරමිනි.

leave a reply