ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් කටයුතු කරන විද්වතුන් 182 ක් විසින් පුද්ගලික ණය හිමියන් වෙත ඉල්ලීමක් ඇතුළත් ප්‍රකාශයක් පසුගියදා එළිදක්වා තිබුණි. විද්වතුන්ගේ මෙම ඉල්ලීම් ඇතුලත් ප්‍රකාශනයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ ණය (ඩොලර් බිලියන 52) ප්‍රමාණයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතු වීමයි. මේ බොහොමයක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආකාරයෙන් පවතී.
ශ්‍රී ලාංකීය ණය අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර විද්වතුන් 182කගේ ප්‍රකාශනයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
2023 ජනවාරි
ශ්‍රී ලංකාව, වෙනත් බොහෝ අඩු සහ මැදි ආදායම් රටවල් මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සාධක ගණනාවක් හේතුවෙන් මූල්‍ය කම්පන මාලාවක් අත් දකිමින් සිටී. විනිමය සැලකිය යුතු පරිදි අවප්‍රමාණය වී තිබියදීත් ගෝලීය බලපෑම් හමුවේ ආහාර සහ බලශක්ති ආනයන පිරිවැය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින අතර පොළී අනුපාතයන්ද ඉහළ යමින් පවතී. ප්‍රතිපත්තිමය අවකළමනාකරණ ඉතිහාසය මෙන්ම වගකීම් විරහිතව ණය ගැනීම දිරිගැන්වූ විවෘත භාවය සහ පාලන රීති හා සීමා කිරීම් ඉවත් කිරීම සමග පැමිණි මෙම කම්පනයන්, රටෙන් පිටතට අනිතික මූල්‍ය ප්‍රවාහයන් සිදු වීමට සහ දේශපාලන දූෂණයන් සිදු වීමට ඉඩ සැලසූ අතර ඒ හේතුවෙන් විදේශ ණය සහ ගෙවුම් ශේෂ අර්බුදයන් තීව්‍ර විය.
ලෝක ආර්ථිකයේ ද්‍රවශීලතා විස්තාරණය සහ අඩු පොළී අනුපාත පැවති පසුගිය දශකය පුරා පුද්ගලික ණය ලබා දෙන්නන් දියුණු රටවලට වඩා වැඩි ඉහළ පොළී අනුපාතවලට අඩු සහ මැදි ආදායම් ලබන රටවලට ණය ලබා දෙනු ලැබීය. මෙම ඉහළ පොළී අනුපාත එම රටවලට නැවත ණය ගෙවීම ඉතා අසීරු කරමින් වඩා විශාල අවදානමකට එම රටවල් තල්ලු කිරීමට හේතු විය. පළමුව ගෝලීය වසංගතයක් තුළින්ද පසුව 2022 වසරේ පොළී අනුපාත ඉහළ යාම සහ මිල කම්පනයන් හේතුවන්ද එම අවදානම දැන් යථාර්ථයක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ ණය භාරයෙන් 40% ක් පමණ ප්‍රමාණයක් හිමිවන්නේ පුද්ගලික ණය ලබා දෙන්නන්ට වන අතර ඉන් බොහොමයක් ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වශයෙනි. එනමුත් ඉහළ පොළී අනුපාත යන්නෙන් අදහස් වන්නේ ඔවුන් විදේශ ණය ගෙවීම්වලින් 50% කට වැඩි ප්‍රමාණයක් ඔවුන් ලබන බවයි. එවැනි ණය ලබා දෙන්නන්, තම අවදානම ආවරණය කරගැනීම පිණිස ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී මිල ආධික්‍යයක් අය කළ අතර එය ඔවුන්ට අතිවිශාල ලාභයක් අත් පත් කරදෙමින් 2022 අප්‍රේල් මස දී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීම සිදු වීමට මග පාදන ලදී. “අවදානම් ආධික්‍යය” හේතුවෙන් ඉහළ ලාභ ලැබූ ණය ලබා දෙන්නන්, එම අවදානමේ ප්‍රතිඵල හිමිකරගැනීමට කැමති විය යුතු ය. සත්‍ය වශයෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ද්වියිතික වෙළෙඳපොළ තුළ අලෙවි වන්නේ අඩු මිලකටය. එවන් තත්ත්වයක් යටතේදී Paris Club සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සාකච්ඡාවලදී පුද්ගලික බැඳුම්කර හිමියන්ට ඉහළ පාලනයක් ලබා දීම ස්වභාවික යුක්තියේ මූලික මූලධර්මයන් උල්ලංඝනය කිරීමකි.
මීට අමතරව, ණය සාකච්ඡා ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය මඳවීම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ වගවීම අඩු වීම මගින්, වර්තමාන ණය අර්බුදය (දැන් “නින්දා සහගත ණය” ලෙස හඳුනාගනු ලබන) ඇතිවීමට, දුෂිත දේශපාලකයන්ට ණය ලබා දීම ප්‍රධානතම හේතුවක් වූ බව සැඟවී යමින් පවතී. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් අනාවරණය කිරීමට අමතරව එම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යෙදවූ ආකාරය සහ එම අරමුදල් භාවිතා කිරීම සම්බන්ධව කරුණු හෙළිදරව් කිරීමද වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡාව දැන් ඉතා තීර්ණාත්මක අදියරක පවතී. සියලූම ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ පුද්ගලික ණය දෙන්නන්, ආසන්න වාරිකය තුළ අමතර මූල්‍යකරණය ලබා දීමේ රක්ෂණය සමග ණය ප්‍රතුව්යුහගත කිරීමේ බර බෙදා හදාගත යුතුය, කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තනිවම මෙය සිදු කළ නොහැකිය; ඔවුන්ට වඩා වැඩි ජාත්‍යන්තර සහායක් අත්‍යවශ්‍යය. භූදේශපාලනික මෙහෙයවීම් වෙනුවට ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියලු දෙනා, වර්තමාන අර්බුදයෙන් ගැලවීමට මාවතක් සැපයීම පිණිස ණය අවලංගු කිරීමක් සිදු කළ යුතුව ඇත.
බහුපාර්ශ්වික සංවිධානවල, විශේෂයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල (IFI) භූමිකාවද වැදගත් වේ. ඒවා ආරම්භ කරනු ලැබුවේ, විශේෂයෙන් මූල්‍ය වෙළෙඳපොළ නිසි ලෙස ප්‍රතිඵල නොගෙනෙන විට මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම, මූල්‍ය අර්බුදවල බලපෑම වැළැක්වීම හෝ අඩු කිරීම සහ සමාජ සහ සංවර්ධන අවශ්‍යතාවයන් සැපිරීම අවශ්‍ය වැදගත් ආයෝජනයන් සඳහා සම්පත් සැපයීම යනාදී ලෙස ස්වෛරී ජාතීන් ආරක්ෂා කිරීමටය,
ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ඔවුන්ව අවශ්‍ය කරන මේ මොහොතේ මෙම වගකීම් නිසි ලෙස ඉටු කරන බවක් නොපෙනේ. ශ්‍රී ලංකාව තුළ ඔවුන් සිදු කරනුයේ වර්තමාන අර්බුදයට ඉඩ පෑදූ ප්‍රාග්ධන ගිණුම් සහ පාලන නීති රීති අවනියාමනය කිරීමේ ප්‍රතිපත්තිම නැවත ක්‍රියාත්මක කිරීමට දිරි දීමයි. ඔවුන් අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මන්දගාමී වූ අතර ආර්ථිකය ගිලී යන මේ මොහොතේ ඉතා කෙටි කාලයකින් රාජ්‍ය මූල්‍ය අතිරික්තයක් ඇති කිරීම වැනි බැරෑරුම් ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය තත්වයන් ඇති කිරීමට කටයුතු කළ යුතු ය.
ශ්‍රී ලංකා රජයේ මෑතකාලීන අයවැය තුළ මෙම ගම්‍යමානයන් දැනටමත් පෙනෙන අතර එහි සපුරා ගැනීමට නොහැකි යථාර්ථවාදී නොවන ආදායම් උපකල්පනයන් ඇතුළත්ව ඇත. ආදායම් හිඟයන් ඇතිවීමෙන් තවදුරටත් “ලුහුපෙවෙත්”අනුගමනය කිරීමට සිදුවනු ඇති අතර පොදු වියදම් කපා හැරීමට සිදුවනු ඇත. අයවැය මගින් සිදු කරන තවත් යෝජනාවන් වන්නේ රාජ්‍ය වත්කම් අඩු කිරීම, උපක්‍රමික බිම්, සමුද්‍ර සම්පත්, බලශක්තිය, ප්‍රවාහනය, දුරකථන යටිතල පහසුකම් සහ රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරිමයි. මෙම ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ අවදානම් සහගත කණ්ඩායම්වලට හානි කරනු ඇති අතර දිළිඳු බව සහ අසමානාත්මතාව වැඩි කර ආර්ථික පිරිහීම තව දුරටත් උත්සන්න කරනු ඇත. මේ වෙනුවට අවධානය යොමු විය යුත්තේ, ශ්‍රී ලංකාවේ විදේශ ණයවල සාමාන්‍යයට වඩා විශාල වශයෙන් වැඩි පසුගිය වසර 15 ක කාලය තුළ පැවරුම් මිල සහ වෙළෙඳ ගනුදෙනු අපයෝජනය තුළින් ප්‍රාග්ධනය අනිතික ලෙස පිටතටගලා යාම නැවැත්වීමට අවශ්‍ය නීතිමය සහ රෙගුලාසිමය වෙනස්කම් සිදු කිරීම හා සුපිරි ධනවතුන්ගේ ධනය සහ පරිභෝජනය වෙනුවෙන් බදු පැනවීම වෙතය.
ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටළුව, ස්වෛරීත්ව ණය සහන සහ තිරසර බව පිළිබඳ හදිසි ගැටළු පිළිබඳව කටයුතු කිරීමට සහ ජාත්‍යන්තර ණය සාකච්ඡාවල සාධාරණත්වය රැකගැනීමට, ලෝකය සහ විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය කෙතරම් සූදානම්ද යන්න පෙන්වනු ලබන වැදගත් දර්ශකයක් වනු ඇත. එබැවින් එය ශ්‍රී ලාංකීය ජනතාවට පමණක් නොව, නිත්‍යනුකූල බව සහ මූලික ස්වශක්තතාව නොමැති බව නිසා දැනටමත් ගැටළුකාරීව පවතින බහුපාර්ශ්වීය ක්‍රමයක් සම්බන්ධව විශ්වාසය ප්‍රතිස්ථාපනය කිරීමට ද වැදගත් වනු ඇත.
පරිවර්තනය – කල්ප රාජපක්ෂ