ජනමාධ්‍ය විසින් මුදා හරින යුද වාර්තා ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර මගින් ඇති කරන ආවාටවලට වඩා ගැඹුරුය.

Date:

ජනමාධ්‍ය විසින් මුදා හරින යුද වාර්තා ඇතුළු මතවාදී බෝම්බවලින් නිර්මාණය කෙරෙන ආවාට, ගාසා තීරයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර මගින් ඇති කරන ආවාටවලට වඩා ගැඹුරුය.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර ලෙස පලස්තීනයට එල්ලවන ගුවන් ප්‍රහාර නිසා සක්වළ කැළඹී ඇත.
පලස්තීනය හා ඊශ්‍රායලය අතර ගැටුමේ අතීත කතාව නොදන්නා බොහෝ දෙනා තමන්ගේ පැත්ත සාධාරණිකකරණය කරන්නට ඉතිහාසයේ කොටස් මහන්සියෙන් උපුටා දක්වති.

මිනිස් ශිෂ්ටාචාරයේ අප ජීවත් වන්නේ මනුෂ්‍ය වටිනාකම් ඉවත් කළ ද්‍රව්‍යමය වටිනාකම් පමණක් අගය කරන ලෝකයක බැවින් මේ කතිකාවට අප ඇතුළු වන විටම සිදුවන්නේ ඒ් වටිනාකම් තුළ සිරගත වීමය. නමුත් මනුෂ්‍යත්වය ගැන පුළුල්ව කල්පනා කරන දැක්මකින් මේ දෙස බලන්නට අපි ඔබට ආරාධනා, ආයාචනා කරමු.

මන්ද යත් මෙම සිදුවීම දෙස අප බලන්නේ අපට දී ඇති කොන්දේසි යටතේ කල්පනා කරන්නට බලකර ඇති, මාධ්‍ය ප්‍රචාරක ලෝකයක ජීවත්වන පිටස්තරයන් ලෙසය. මෙම ගැටුමට මැදි වී සිටින ඊශ්‍රායලයේ වේවා පලස්තීනයේ වේවා සිවිල් ජනතාවට ගැටුමේ පාර්ශ්වකරුවන් නොවී ම වින්දිතයන් වන්නට බලකර ඇත. අපට එවැනි කොන්දේසියක් බලපාන්නේ නැත. නමුත් මේ වන විට ලෝකය පුරා මිනිස් ප්‍රජාව බෙදා වෙන්කර කටු කම්බි ගසා, මුරකාවල් යොදා ඇති දේශපාලනයත් වැඩි වැඩියෙන් ලාභ අත්පත් කරගන්නට කවර හෝ අමානුෂික ක්‍රමවේදයක් භාවිත කරන සිතීමත් විසින් අපව කැඳවා ගෙන යන්නේ මෙම අමානුෂික පැවැත්ම තුළට ම පමණි.

හමාස් යනු පලස්තීනයේ විමුක්ති අභිලාෂයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් නොවන අතර ඊශ්‍රායලය යනු යුදෙව්වන්ගේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍යයක්ද නොවේ. වර්තමාන මැද පෙරදිග දේශ සීමා යනු ඒක්තරා කාලසීමාවක කලාපයේ තෙල් සම්පත් කොල්ලකෑම් යෙදුණු බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී ධනේශ්වර රාජ්‍යයන්ගේ උවමනාවන්ට ගොඩනැගුණු පද්ධතියකි. මේ දේශ සීමා කිසිවක් තෙල් සම්පත්වල ලාභය කොල්ල කෑමේදී එකී ලෝක බලවතුන්ට අදාළ වූයේ නැති නමුත් අදත්, මැදපෙරදිග කිසිදා නොනිවෙන ගැටුම් ගණනාවක් පවතී. සුන්නි, ෂියා ගැටුම්, අන්තවාදී හා ලිබරල් කණ්ඩායම් අතර ගැටුම් මෙන්ම වරින්වර ඔත්තු සේවා ආධාරයෙන් අවුළුවන ගැටුම්ද පවතී.

මැදපෙරදිග ධනපති සමාගම්වල ලාභ ගොඩගැසීමේ ක්‍රියාවලියට මෙන්ම එක්සත් ජනපදය ඇතුළු ලෝක අධිරාජ්‍යවාදී කඳවුරේ මැදිහත්වීම්වලට අභියෝගයක්ව පැවති ඉරාකය මේ වනවිට සුන් කොට ඇත. මානව වර්ගයාටම අති මහත් වටිනාකමක් ඇති, මිසපොතේමියා ශිෂ්ටාචාරයේ පැරණි නටබුන් ඇතුළුව ජනාවාස වනසමින් කිසිවිට මිල කළ නොහැකි පුරාවස්තු කොල්ල කමින්, ඒ් යුද්ධය නිමා විය.

ඉරානය ඔවුන්ගේ බලයට නතු නොවීම නිසා ඇති ගැටලුව විසඳා ගැනීමේ අරමුණින් මැදපෙරදිග කලාපයේ සිවිල් ජනතාව බිලි ගැනීමේ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇත. පලස්තීනයේ හමාස් වැනි සංවිධාන පොදු දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කරනවාද නැත්නම් වෙනත් බලවේගවල බළල් අතක්ව පවතිනවාද යන ප්‍රශ්නය විසඳා ගත යුතුව ඇත. ඔවුන් පලස්තීන විමුක්ති සංවිධානය විසින් බිහිකළ පාලනයේ කොටස්කරුවන් නොවේ.
මේ පසුබිම තුළ යුදෙව්වන්ගේ පුරාතන දේශය හෝ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් බිහි කළ දේශය ලෙස ඊශ්‍රයලය පිළිගැනීමේ තර්ක මෙන්ම ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක්ව පැවති අරාබි ජනාවාස හෝ මැදපෙරදිග අරාබි උරුමය වැනි තර්කද සේවය කරන්නේ මේ ගැටුමට මැදිවන සාමාන්‍ය ජනයාගේ පැවැත්ම ආරක්ෂා කරන දිශාවට නොවේ.

ඒ වෙනුවට පිටස්තරව හිඳිමින් අප වාද කළ යුතුද? එදිනෙදා මනුෂ්‍ය අවශ්‍යතා අහිමි කළ පලස්තීනයේ ජනයාද හමාස් වැනි කණ්ඩායම්වල ත්‍රස්ත ප්‍රහාරවලට අමතරව ඊනියා යුදෙව් රාජ්‍යයක ඒක්සත් ජනපද බළල් අතක් ලෙස කටයුතු කරන ඊශ්‍රායලයේ පාලකයන්ගේ මර්දනයෙන් බැට කන යුදෙව් ජනයාද විමුක්තිය පිළිබඳ සැබෑ මනුෂ්‍ය දැක්මක් වෙත කැඳවිය යුතුය. ඔවුන් මෙසේ බැට කන්නේ ලාභ තර කරගැනීමේ අරමුනින් ලෝකය බෙදා ගන්නට යුද වදින ප්‍රාග්ධන හිමිකරුවන්ගේ දේශපාලනය නිසා බව ඔවුන්ට තේරුම් කරදීමට වඩා ඔවුන් ගැන විනිශ්චයන් දෙන අප තේරුම් ගත යුතුව ඇත.
පිටස්තරව හිඳ විනිශ්චයන් දීමෙන් හෝ මෙවැනි හෑලි ලිවීමෙන් එය ඉටු සිදු නොවේ. එය සක්‍රිය දේශපාලන ක්‍රියාදාමයකි.

අවම වශයෙන් ලංකාවේ ජීවත්වන, බෙදා වෙන් කිරීමට ලක්ව සිටින පොදු පීඩිත ජනයාට ඒ අවබෝධය ලබාදීමෙන් විමුක්ති අභිලාෂයන් මුදුන් පත් කරගැනීමේ ප්‍රඥාවක් උපයාගැනීමට ඔවුන්ට සහාය වීමෙන් අපට පියවරක් හෝ ඉදිරියට යා හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...