දේශපාලනඥයන් මැදිහත් වී තීන්දු-තීරණ අවිධිමත් ලෙස ගැනීමත්, එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීමත් නිසා ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය අවුල් ජාලයක් වී ඇති ආකාරය දක්නට ලැබේ.
ඒ අතරින් දෙවැනි මාත්‍රාව ලබාදීමට ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණවත් නොවීම් ප්‍රධාන ගැටලුවක් ලෙස තිබේ.
කොවිඩ් රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ලක්ෂ හයක පමණ ජනතාවකට එහි දෙවැනි මාත‍්‍රාව නිසිකාලයට ලබාදීමට නොහැකි වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබේ.
ඉන්දියාවේ සීරම් සමාගම මගින් ලබාදුන් මෙම එන්නත් මාත‍්‍රා ලක්ෂ 09න් මාත‍්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇත්තේ ලක්ෂ තුනක පමණ පිරිසකට බව එන්නත් ලබාදීමේ වැඩසටහනේ නිරත සෞඛ්‍ය බලධාරීහු පවසා ඇත.
මේ අතර කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත එක් එක් කුප්පියේ ඉතිරිව ඇති දියර එකතුකර අවශ්‍යව ඇති දෙවැනි මාත්‍රා එන්නත් නිපදවා ගන්නා ලෙස
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේලා ගුණවර්ධන විසින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.
සියලුම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට සහ රේඛීය අමාත්‍යාංශයේ සියලුම ආයතන ප්‍රධානීන්ට මෙම නියෝගය නිකුත් කර ඇත.
එන්නත් සඳහා භාවිතයට ගන්නා සෑම කුප්පියක් තුළම අවසාන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව යම් තරල ප්‍රමාණයක් තිබීම සාමාන්‍ය දෙයක් බව පවසන වෛද්‍ය අසේල ගුණවර්ධන, එන්නත් 10ක් ලබාදීමෙන් පසුව පසු තවත් මාත්‍රාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බව පවසයි. ඒ අනුව, ඉතිරි ද්‍රාවණ ප්‍රමාණය වෙනත් මාත්‍රාවක් (එනම් මිලි ලීටර් 0.5) පරිපාලනය සඳහා ප්‍රමාණවත් බවට නිගමනය කර තිබේ. එහෙත් මේ ප්‍රමාණය දෙවන මාත්‍රාව නොලැබී ඇති ලක්ෂ 6ම ලබාදීමට තරම් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.
එසේම ආණ්ඩුව පවසමින් සිටින්නේ දෙවැනි මාත්‍රාව වෙනුවට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුවක් නිර්දේශ කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් රජයේ ද අවධානය යොමුව ඇති බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඊයේ පවසා තිබේ.
නමුත් දැනට ස්පුට්නික් එන්නත් මෙරටට ලැබී තිබෙන්නේ 50,000ක් පමණි. ස්පුට්නික් ආයතනය සමග ඇති ගිවිසුම මත මෙම වසරේ ජූනි විසිවන දින වන විට ඔවුහු ස්පුට්නික් මාත‍්‍රා සියල්ල ලංකාවට ලබා දෙනු ඇති බව රජය පවසයි. දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ස්පුට්නික් එන්නත් ප්‍රමාණවත්ව ලබාගත්තද එය කොතරම් දුරට සාර්ථකද යන ප්‍රශ්නය මේවනවිට මතුව තිබේ.
ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රසෙනෙකා ආයතන මෙම එන්නත් මිශ්‍ර කිරිමේ අධ්‍යනය සඳහා රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබූ අනුමැතිය ලබාදීම එම අමාත්‍යංශයේ ආචාරධර්ම කමිටුව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඒ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදී දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් V එන්නත ලබාදීමේදී එහි ආරක්ෂාව සහ සාර්ථකභාවය පිළිබඳ ප්‍රමාණවත් දත්ත අදාළ ආයතන තමන් වෙත ලබා නොදුන් බව පවසමිනි.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, ඇස්ට්‍රසෙනෙකා හා ස්පුට්නික් V එන්නත් සඳහා භාවිත කරන වෛරසයේ වාහකය වෙනස් බවටයි.
කෙසේවෙතත් දැනට ලෝකය පුරා එන්නත් මිශ්‍රකර ලබාදිය හැකිද යන්න ගැන පරීක්ෂණ සිදුවෙමින් පවතියි. ඒ කිසිවක් අවසන් වී නැත.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අදාළ පරීක්ෂණවල අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කරන්නේ නම් පමණක් එන්නත් මාත‍්‍රා මිශ‍්‍ර කර ලබා දිය හැකි බවය. කෙසේ නමුත්, මෙම පරීක්ෂණවල අවසන් වාර්තා ලැබීමට තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇත. ශී‍්‍ර ලංකාව තුළ එන්නත් වර්ග මිශ‍්‍ර කර ලබා දීමට සිදුවන්නේද නැතහොත් දෙවන මාත‍්‍රාව යම් හෙයකින් ගෙන්වා ලබා දෙන්නේද නැති නම් ලක්ෂ හයකට ආසන්න පළමු මාත්රාව ලබා ගත් පිරිසට නැවත දෙවැනි මාත‍්‍රාවක් ලබා නොදෙන්නේද යන්න නිශ්චිත තීරණයක් තවම නැත.
මෙම තත්ත්වය උද්ගතවීමට බලපා ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් සුරක්ෂිත කරගැනීමකින් තොරව එන්නත් සියල්ල ලබා දීමයි. ආණ්ඩුව විසින් අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීමට අවධානය යොමු නොකර විවිධ මිත්‍යා ප්‍රවර්ධනය කරමින් සිටියදී කොවිඩ් රෝගීන් වැඩිවෙමින් පැවතුණි. ඒ හේතුව නිසා නැගෙන මහජන කෝපය වැලැක්වීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය වූවේ සියල්ලන්ට එන්නත් ලබාදෙන බව පෙන්වීමටයි. ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ කොවිඞ් මර්දන වැඩසටහනේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසකට පමණි.
මෙම දෙපිරිසට අමතරව ඇස්ට‍්‍රාසෙනිකා එන්නතේ ලබාදුන්නේ 60ට වැඩි වැඩිහිටි ජනගහනයටයි. එම පිරිස වසංගත තත්ත්වය හමුවේ වැඩිම අවදානම්සහගත ඛාණ්ඩය ලෙසද නම් කර තිබේ. නමුත් මෙතෙක් ඔවුන්ට එන්නතේ දෙවන මාත්‍රාව ලැබී නැත. එපමණක් නොව පළමු මාත්රාව ලබා නොගත් වැඩිහිටි ජනතාවට සරිලන වෙනත් එන්නතක් ලබාදීමක් සිදුවන්නේ ද නැත. විශාල වශයෙන් ලංකාව තුළ ලබාදෙමින් සිටින සයිනොෆාම් එන්නත ලබාදෙන්නේ 30ත් 60ත් අතර වයස් ඛණ්ඩයටයි.
සෞඛ්‍ය සේවයට ප්‍රතිපාදන කපා හැරීම නිසා සෞඛ්‍ය පහසුකම් මදිවීම හරහා පමණක් නොව ආණ්ඩුවේ මෙවැනි තකතීරු තීරණ හරහා අපේ රටේ විශාල පිරිසක් කොවිඩ් වසංගතයට බිලිවෙමින් ඇත. ඊට අමතරව තවත් විශාල පිරිසක් මරණවලින් වන්දි ගෙවමින් සිටින බවද අප අමතක කළ යුතු නැත.