Breaking News

පවන් අංජන – ඇපල් ඇට – බුද්ධිමය දේපල අයිතිය

හිල්මි සුපුන් 

පවන් අංජන අතිශය   අභ්‍යන්තර පරීක්ෂණයක්  කෘතිය සඳහා නිර්මාණය කළ  පිට කවරය  සම්මානයට පාත්‍ර වීමත් සමග මේ පිටකවරය යම් සුළු වෙනස් කිරීමක් කරමින් විදෙස් පොතක අමු කොපියක් බව  සනාථ කරන්නට  සාක්ෂි ඉදිරිපත් කරමින්  සමාජ මාධ්‍ය තුළ විශාල මෙහෙයුමක් දියත් වී තිබේ.  මේ කතා බහ හරහා  තවත් පොත් ගණනාවකට  අන්තර්ජාලයෙන් බාගත කළ ඡායාරූප භාවිතා කිරීම  සහ ඒවා සැසඳීම  සමාජ මාධ්‍ය පරීක්ෂණාගාරය තුළ  ජයටම සිද්ධ වෙමින් පවතී.  පවන් අංජන නිර්මාණය කළ පිට වැස්මට සම්මානයක් නොලැබුණා නම්  මේ කුණු ගොඩ ඇවිස්සෙන්න  ඉඩ නොතිබුණා විය හැකියි.  පොත නිකුත් වී දැන් වසරකට වැඩි කාලයක් ගතවී තියනවා. මේ ගැන හිසේ ඇම්මක්  පශ්චාත්භාගයේ අමාරුවක් තිබුණා නම් සම්මානය ලැබෙන්න ට ප්‍රථම ඒ හෙළිදරව්වා කරන්න  ඔය කාට කාටත් ඉඩකඩ තිබුණා.  සම්මානය නිසාම බරක්  දැනී කුණු ගොඩ ඇවිස්සුවා ද කියන්න අපි නොදන්නවා වුණත්  වැඩේ සීයට සීයක් සාධාරණීකරණය කරන්න බැහැ.

මේ සිදුවීම හරහා හෙළිදරවු වෙන අනිත් කාරණය තමයි  සම්මාන වටමේස වල ඉන්න  විද්වත් බුද්ධිමත්  මහත්ම මහත්මීන්ගේ  වබෝධයේ ප්‍රමාණය  සහ  ඔවුන්  විනිශ්චය සඳහා අවම පහසුකම්වත් භාවිතා නොකරන බවට ලබාදෙන ඉඟිය.  වර්තමාන ලෝකය තුළ සීයට සීයක් ස්වතන්ත්‍ර නිර්මාණ බිහිකිරීමට  පවතින ඉඩකඩ  අවමයි  කියලයි මට හිතෙන්නේ.  ඒකට හේතුව තමයි දියුණු වුණු තාක්ෂණය  මුළු ලෝකයම ස්වල්පයකින් දැක ගන්න  ඉඩ සලසා තිබීම.  එනිසාම දකින කියන දේ  මොළය නැමැති  ගබඩාවේ තැන්පත් වී  වැඩක් කරන්න  නිර්මාණයක් බිහි කරන්න  ගන්න උත්සාහය තුළ ඒ වල ආභාෂය  නිතැතින්ම ඒ නිර්මාණ වලට කාන්දු වීම.  මේ කියන්නේ ගෙඩිය පිටින් උපුටාගෙන  තමන්ගේ කර ගැනීම නෙවෙයි.  නිර්මාණ තුළට කලින් බිහි වූ නිර්මාණ වල සෙවනැලි වැටීම ගැනයි .

පිට වැසුම් නිර්මානය කිරීමේ දී අන්තර්ජාලයෙන් ඡායාරූප බාගත කර ගැනීම අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා.  පවන් අංජන මේ ඡායාරූපය  අන්තර්ජාලයෙන් ලබා ගත්තේ  වෙනත් පොතක  පිටකවරයක් කියන දැනුම මත ද?  එහෙමත් නැතිනම්  හුදු ඡායාරූපයක් යන දැනුම මත ද කියා අප දන්නේ නැහැ.  හෘද සාක්ෂියට අනුව සමාජය ගොඩ නගා තිබෙන විවේචනයට පිළිතුරු ලබා දීම ඔහු සතු කාර්යයක් වී තිබෙන  වටපිටාවක් තුළ  පව් නොකළ මිනිසුන් ලෙස  හිතාගෙන  වටකරගෙන  ඔහුට තඩිබෑම  අනුමත කලහැකි කාරණයක් නෙවෙයි. ඊට හේතුව  ඔය බොහෝ මහත්තුරු  නොදැන ස්වතන්ත්‍ර නිර්මාණ කියලා හිතාගෙන  අමු අමුවේ කොපි නිර්මාණ රස විඳින බැවිනි.

ජනයි ප්‍රියයි කියන්නේ  වෙළඳ දැන්වීම්  වෙනුවෙන්  ලංකාවේ මිනිස්සුන්ට විහිළු සපයන ඒක දෙන්නෙක්.  ඒ  ඔවුන් තෝරාගත් ආදායම් මාර්ග ක්‍රමය.  මොවුන් දෙදෙනාගේ “ඇපල් ඇට” විහිලුව  මිලියනයකට වැඩි වාර ගණනක් ලාංකීය ප්‍රේක්ෂකයා නරඹා තියනවා.  මොවුන් මේ විහිළුවෙන්  මුදල් උපයාගෙන ඇති.  මේ විහිළුවට යටින් මෙය නැරඹු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර වල  කිසිදු තැනක  මේක අමු කොපියක් කියන බව සඳහන් ව  නැහැ.  මේ වීඩියෝව ඔවුන් අන්තර්ජාලයට මුදා හරින්නෙ මීට අවුරුදු 6 කට කලින්.  පවන් අංජන ගේ කතාව අස්සෙ  මේ මොකක්ද කියන්නේ කියන එක සමහර විට ඔබට ප්‍රශ්නයක් වෙන්න ඇති.

මේ කියන්න යන්නේ ඔබ  නොදන්නා  තාක්  බොහෝ නිර්මාණ  ගැන  ඔබ හිතන්නේ ඔබට නිර්මාණය ඉදිරිපත් කරන පුද්ගලයාගේ නිර්මාණයක් කියයි.  වෙනත් නිර්මාණ හොරකම් කිරීම  සහ   ඒවා තමන්ගේ බව  අඟවමින් සමාජගත කිරීම ද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා .  එවන් සමාජ වටපිටාවක් යටතේ  පවන් අංජන මරාගෙන කනවට වඩා මේ පවතින වටපිටාව තේරුම්ගෙන හෘදසාක්ෂියට සවන් දීම වැදගත්.

ජනයි ප්‍රියයි ඉදිරිපත් කරන “ඇපල් ඇට” විහිලුව ඔබ හිතන් හිටියා නම් ඔවුන්ගේ නිර්මාණයක් කියා එය වැරදියි.  ඉතාලි විකට නළුවන් දෙදෙනෙක් මීට වසර දහයකට ඉහතදී  මේ විහිළුව ඉදිරිපත් කරනවා. ජනයි ප්‍රියයි ගේ ඇපල් ඇට විහිළුව යනු  එම නිර්මාණයේ අමු කොපියක්.  ඔවුන් දෙදෙනා අනුන්ගේ බුද්ධිමය දේපළක් හොරකම් කර  “ඇපල් ඇට” විහිළුව කරන්න පටන් ගන්නෙ  බුදු අම්මෝ මේක උපුටා ගන්නත් එපා ,කෑලි කපන්නත් එපා,  සම්පූර්ණ බුද්ධිමය අයිතිය අපේ කියලා කියනවා.  පවන් අංජන තරුණයාව මරාගෙන කන්නෙ නැතිව ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ බුද්ධිමය දේපළ අයිතියේ දිග පළල කොතනින් කොහොම කෙළවර කරගන්න පුළුවන් වෙයිද කියා.

leave a reply