Breaking News

රන්මිහිතැන්නත් ජනතාව මත පැටවූ බරකි.

සමන්සිරි හේරත්

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයෙ විනාශය හුවා දක්වන ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලය තුල හුවමාරුවෙමින් පවතිනවා. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා ගම්මානය  නමින් ද මෙය හඳුන්වනු ලබනවා. ලංකාවේ ඉදිකල  ප්‍රථම දෘශ්‍ය කලා දර්ශන තල ජනපදය වන්නේ ද මෙයයි.  පොදුවේ කලාවේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් නිර්මාණය කිරීම ප්‍රමුඛ  සහ වැදගත් කාර්යයක් වන අතර  නිසි තැන නිසි විදිහට ඉදිවීම ද වැදගත් වෙනවා.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ආරම්භයේ සිටම තිබුනේ දැවැන්ත විරෝධයක් සහ විවේචනයක්.  රාජපක්ෂලා සංවර්ධනයට මුවා වී අපේ රටට කර ඇති විනාශය දැන් තහවුරු වී තිබෙනවා. චිනය සමග මිත්‍රකම් පවත්වා රටට හෝ ජනතාවට අදාළ නොවන ව්‍යාපෘති ආරම්භ කර මිලියන ගණනින් කොමිස් ලබා ගත් බව දැන් හෙළිදරව් වී තිබේ . සංවර්ධන ව්‍යාපෘති ලෙස හඳුන්වමින් ඉදිකරනු ලැබූ බොහෝ දේවල් අද රටේ ජනතාවට ප්‍රයෝජනයක් නැති  හුදු කොමිස් මුදල් ලබා ගැනීම සඳහා ඉදි කළ දේවල් බවට පත් වී හමාරයි.  උදාරණයක් ලෙස නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කරන්නේ ඉන්දියාවටත් විදුලිය ලබාදීම සඳහායි. නමුත් ඉන්  ලංකාවේ විදුලියේ අවශ්‍යතාවය සපුරාලීමට වත් හැකියාවක් නැහැ. නෙළුම් කුළුණ නම් කොන්ක්‍රීට් කණුව  අද අපේ රටේ ආර්ථිකයට එක රුපියලක් උපයාදෙන ව්‍යාප්තියක් නෙවෙයි. එය හොරා කෑ කන්දේ උස පෙන්නුම් කරන නරුම ස්මාරකයකි. එපමණක්ද නොව මත්තල ගුවන්තොටුපල, මත්තල සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු බොහෝ ව්‍යාපෘති ණය කන්දක හිර කරපු රාජපක්ෂලා ගේ සහ ඔවුන්ගේ හිතමිතුරන්ගේ  ඩීල් ව්‍යාපෘතිය.

අද රටේ ආර්ථිකය කඩාවැටිලා. ගත් ණය ගෙවා ගන්න බැරිව තියෙනවා. ව්‍යාපෘති බොහොමයකට ණය ආධාර සැපයූ චීනය අද ණය  ප්‍රතිවිහුවහගත  කරන්න එකඟතාවය පළ නොකර කියා සිටින්නේ  වාරික ගෙවීමට අපොහොසත් නම් තමන්ගේ ව්‍යාපෘති පවරා ගැනීමට සූදානම් බවයි.

ව්‍යාපෘතිවලට ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී තිබෙන්නේ කුමක් නිසාද?

පැනය ඉතාමත් සරලයි.

පිළිතුර නම්……. ඉහත සඳහන් බොහොමයක් ව්‍යාපෘති රටේ ආර්ථිකයට වාසි අත්පත් කර දෙන ව්‍යාපෘති නොවීමයි. එහෙයින් අද ආණ්ඩුවට ණය ගෙවන්නට සිදු වෙලා තිබෙන්නේ ජනතාව මත පටවන බදු මුදල් වැඩි කරමින් ඒ බදු මුදලින්ය. 2019 විවෘත කළ නෙළුම් කුළුණ සැප්තැම්බර් 15 සිට ජනතාවට විවෘත කරන්නට යන්නේ වෙන කිසිවක් උදෙසා නොව  නෙළුම් කුළුණ පෙන්වා ජනතාවගේ සාක්කුවේ තිබෙන මුදල් ටික ගසා කෑම සඳහායි .  නෙළුම් කුළුණ නැරඹීමට රුපියල් 500 ක ඇතුල්වීමේ ගාස්තුවක් මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදේශිකයෙක් සඳහා ඩොලර් 20 ක මුදලක්ද වාර ගණනාවක් ඇතුළු වන්නේ නම් රුපියල් දෙදහක මුදලක් ද අය කිරීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂගේ ව්‍යාපෘතියක් අනුව 2008 දී රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය ඉදිකිරීම ආරම්භ වෙනවා . අක්කර 235 ක වපසරියකින් සමන්විත  භූමියේ  ටෙලි සිනමා ගම්මානය නිර්මාණය කරන්න එවකට රුපියල් මිලියන 1500 ක මුදලක් වෙන් කර ගන්නවා. අද විනාශයට පත්වී තිබෙන එම ගම්මානයේ ගොඩනැගිලි දෙස බලන විට අපට පෙනී යන්නේ  ඒවා  ඉතා බාල ප්‍රමිතියෙන් තොර  ඉදිකිරීම් බවයි. වසර දහයකට මදක් ඉක්ම යන තැන සියල්ල විනාශ වී ගොස් තිබේ.

විනාශයට හේතුව 2019 යහපාලන ආණ්ඩුව විසින් මෙම ටෙලි සිනමා ගම්මානය නිසි නඩත්තුවට ලක් නොකිරීම බව රාජපක්ෂවාදීන් අඳෝනා නගනවා.  එය යම් තරමක ඇත්තකි. නමුත් මේ ගම්මානයෙන් නිර්මාණ ව්‍යුහය දෙස සහ ගොඩනැගිලි දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනී යන කරුණක් තමයි  එම ගොඩනැගිලි ඉතා ලාබෙට ඉදි කර ඇති බව. කල් පැවැත්මත් නැතිව තාවකාලිකව අටවා ඇති බව.

කෙසේ වෙතත් නැවත බලයට පත්වීමෙන් පසුව 2021 දී මහින්ද රාජපක්ෂ මෙම රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නැවත මුදල් වෙන් කර ගැනීමක් සිදු කරනවා. 2021 සහ 2022 වර්ෂවලදී මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 351.1ක ප්‍රතිපාදන වෙන්කර ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ  ඉදිරිපත් කරන  යෝජනාවට එවකට සිටි ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවා. 

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු එම මුදල් මහින්ද රාජපක්ෂට ලැබුණාද?  ඔහුට එම මුදල් ලැබුණා නම් ඒවාට කුමක් කළේද?  රන්මිහිතැන්න තවම ප්‍රතිසංස්කරණය නොවී තිබෙන්නේ කිනම් හේතුවක් නිසා ද යන ප්‍රශ්න ජනතාව හමුවේ තිබෙනවා.

මේ පිළිබඳ වඩා විමසිලිමත් ව සොයා බැලීමේ වගකීම පැවරී තිබෙන්නේ එම ශේස්ත්‍රයේ නියැලී සිටින  රන්මිහිතැන්න  පිළිබඳව අවංක ඇත්ත උවමනාවක් තිබෙන කලාකරුවන්ටය.

එපමණක්ද නොව මේ දැවැන්ත මුදල පරිහරණය කරපු ආකාරය පිළිබඳව විගණනයක් කර ඊට ගැලපෙන වටිනාකමක් ඇතිව මෙම ඉදිකිරීම්  සිදුකර තිබෙනවාද කියා විගණනය කිරීම ද  කළයුතුයි .  තවමත් රටේ ජනතාව අරගල කරමින් ඉල්ලා සිටින්නේ දෑවැන්ත මුදල් නාස්තියක් සිද්ධ කරමින් රටේ කළ සංවර්ධන ව්‍යාපෘති වලට මුවා වී  මුදල් ගසා කාපු  තක්කඩි දේශපාලකයන් අධිකරණය හමුවට ගෙන එන්නට කියායි. ජනතාවගේ මුදල් නැවත පවරා ගන්නට කියායි. එයින් මේ හැම දෙයක් පිළිබඳව ම යලි සොයා බැලීමත් මුදල් වලට සිදු වූ දේ ජනතාව හමුවේ හෙළිදරව් කිරීමත්  සිදුකල යුතුයි.

leave a reply