Breaking News

දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශ ගැන ටිල්වින් කළ ප්‍රකාශයට උතුරෙන් විරෝධයක්

උතුරේ ජනතාවට බලය විමධ්‍යගත කිරීම අවශ්‍යතාවයක් නැතැයි වත්මන් ආණ්ඩුවේ බලය හොබවන ජාතික බලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිව තිබේ.

“ටිල්වින් සිල්වාගේ අදහස රජයේ අදහස ද, ජ.වි.පෙ. පක්ෂයේ අදහස ද, නැතිනම් ජාතික ජන බලවේගයේ අදහස දැ,” යි දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ (ටෙලෝ) මහ ලේකම් ප්‍රශ්න කර තිබේ.

බලය බෙදීම ජනතාවගේ ඉල්ලීමක් නොවන බව 2024 ඔක්තෝම්බර් 8 වැනිදා පෞද්ගලික රුපවාහිනි නාලිකාවකට ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා රජයේ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන විසින් අල්ලාගෙන සිටින ඉඩම් අයිති දෙමළ ජනතාව කරන අරගලය හඳුන්වා තිබුනේ මධ්‍යම රජය මැදිහත්වී විසඳිය යුතු ‘රණ්ඩුවක්’ ලෙසයි.

“අපි ඇත්තටම හොයන්න ඕන කම තියෙන්නේ මේන්න මේ පොදු ජනතාව මුහුණ පාන ප්‍රශ්න වලට උත්තර තමයි ඕනේ කම තියෙන්නේ,” යි ස්වර්ණවාහිනියේ දේශපාලන සාකච්ඡාවකට සහභාගි වෙමින් ටිල්වින් සිල්වා කියා සිටියේය.

“ඉඩම් ප්‍රශ්න විසඳන එක ඇත්තටම ලොකු වැඩක් ඒ ගොල්ලන්ගේ. නිරවුල් නැතුව ගොඩක් තියෙන්නේ. අර යුද්දේ කාලේ සමහරු ඉඩම් දාලා ආවා. ඊට පස්සේ ඒ ගොල්ලන්ට ආපසු යන්න බැරි උනා. ඊට පස්සේ හිටපු කට්ටිය ඉඩම් අල්ලගත්තා. දැන් අයිතිකාරයා යනකොට ඉඩමේ වෙන කෙනෙක් පදිංචි වෙලා. එතකොට රණ්ඩුවක් තියෙන්නේ. එතකොට අපි ආණ්ඩුව මැදිහත් වෙලා, ඉඩං කච්චේරි මොනවහරි දාලා මේක බේරලා දෙන්න ඕනේ.”

උතුරු නැගෙනහිර පළාතේ දෙමළ තරුණ තරුණියන් අතට අවි ගත්තේ, ගොවිතැන් කිරීමට ඉඩම් නොමැති කම හෝ ඒවා අලෙවි කර ගැනීමට ක්‍රමයක් නොමැති වීමෙන්දැ යි ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් ප්‍රශ්න කරන මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් ගෝවින්දන් කරුණාකරම් ප්‍රශ්න කරන්නේ ඔවුන් අවි අතට ගත්තේ මේ රටේ ගරුත්වයෙන්, නිදහසේ, එක හා සමානව ජීවත්වීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීම නිසා බව අනෙකුත් සිංහල නායකයන් මෙන්ම වාමාංශික ටිල්වින් සිල්වාත් මෙතෙක් වටහා නොගත්තේ ඇයි ද යන්නයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හා බලය බෙදීම උතුරේ ජනතාව ජාතියක් ලෙසින් මුහුණ දෙන ගැටළුවක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ටිල්වින් සිල්වා එය උතුරේ දේශපාලනඥයන් සිය බලය වෙනුවෙන් භාවිත කරන කතන්දර බවට චෝදනා කළේය.

“නමුත් ප්‍රශ්නේ තමයි ඒ ප්‍රශ්න එහෙම්මම තියෙද්දි ඒ ප්‍රශ්න විසදපු නැති උතුරේ දේශපාලන නායකයෝ හැම තිස්සේම තමන්ගේ බලය වෙනුවෙන් ඔය 13, බලය බෙදීම වගේ කතන්දර පාවිච්චි කර ගත්තා. නමුත් අපි හොදටම දන්නවා අපි උතුරේ ගියා නිසා, උතුරේ බිමේ මනුස්සයන්ට 13 ඕන නැ. උතුරේ බිමේ කෙනාට බලය බෙදීමක් ඕනේ නෑ. ඒ ගොල්ලන්ට ඕන කම තියෙන්නේ වගා කරගන්න වතුර, වගා කරගන්න ඉඩම, වගාවට මිලක්, ඒක විකුණගන්න තැනක්. දරුවට ඉස්කෝලයක්, ලෙඩක් උනොත් බෙහෙත් ගන්න රෝහලක්, ඔය ටික තමයි ඕන කම තියෙන්නේ.”

දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න විසදීම සදහා ජවිපෙ ප්‍රධාන ලේකම් වරයා යෝජනා කර තිබුනේ රටේ සියළු ජනතාව සම්බන්ධ කරගත් නිශ්පාදන ආර්ථිකයකි.

“නිශ්පාදන ආර්ථිකයක් හදන්න ඕන, ඒ නිශ්පාදන ආර්ථිකයට ජනතාව සම්බන්ධකරගන්න ඕන හැම තැනම ඉන්න. මොකද ජනතාව සම්බන්ධ උන් නැත්නම් ඒ ආර්ථිකයේ කොටස්කාරයෝ බවට පත් වෙන් නෑ ඒ ගොල්ලෝ. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ඒ හැම දෙනාටම සාධාරණව ගලා යන ක්‍රමයක් හදපු ගමන්ම මේ ප්‍රශ්න වලින් විශාල ප්‍රමාණයක් විසදලා මුලික අයිතිවාසිකම් ලැබෙන්න පටන් ගන්නවා.”

leave a reply