Breaking News

පැරාඔලිම්පික් තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලංකාවට පදක්කම් දෙකක්

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනකු සමත් වී තිබේ.

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට සමත් වූවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයායි. ඒ නව ලෝක වාර්තාවක් ද තබමිනි.

F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසය.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වු අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

ඊට අමතරව අද අවසන් වූ හෙල්ල විසි කිරීම පිරිමි F64 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු සමත් වී තිබේ.

ඔහු එහිදී මීටර් 65.61 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූ අතර එය ඔහුගේ ක්‍රීඩා දිවියේ ඉහළම දස්කම වීම විශේෂත්වයකි.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ සුමිට් (මීටර් 68.55) හිමිකර ගත් අතර ඕස්ට්‍රේලියාවේ මයිකල් බුරියන් (66.29) රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

leave a reply