Breaking News

කොවිඩ් වසංගතයට මුහුණදීම සඳහා පෙ.ස.ප. යෝජනා ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක්

කොරෝනා වසංගතයට මුහුණ දීම උදෙසා ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ පිළිබඳව රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‌සමග අද (21) සාකච්ඡා කර තිබේ.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ තම පක්ෂය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යෝජනා 14ක යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබූ බවයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

” එම යෝජනාවල මූලික පදනම ඉදිරි සති දෙකක කාලය සම්පූර්ණයෙන් ලෝකඩවුන් කිරීම සහ මේ වෙනකොට තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ගත යුතු බවයි.

ඒ වගේම තවත් යෝජනාවක් ලෙස මේ අරමුදලක් පිහිටුවීම ගැන. මේ අරමුදල පිහිටවිය යුත්තේ රජයේ සේවකයන්ගේ පඩිය බලෙන් කපාගෙන නෙමෙයි. මේ රටේ මහා ධනපතියෝ පහුගිය අවුරුදු 5 තුළ නොගෙවපු බදු මුදල් මිලියන 300ක් පමණ තියෙනවා. පසුගිය වසරේ විතරක් නොගෙවන ලද බදු මුදල් මිලියන 100ක් ඇති තියෙනවා. ඒ මුදල් මේ යොදවා අරමුදලක් හැදිය යුතුයි කියලා අපි කියනවා. මේ රටේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගම් 100 වසරකට රුපියල් බිලියන 100ක ලාභයක් ලබනවා. ඒ ලාභයෙන් බිලියන 50ක් බද්දක් අයකරගන්න පුළුවන්. පහුගිය කාලය පුරාම කොවිඩ් අරමුදලට එකතුවෙලා තියෙන්නේ බිලියන 1.7ක විතරයි. මේ හරහා අවම වශයෙන් බිලියන 50ක අරමුදලක් හදන්න පුළුවන්.

තුන්වෙනි කාරණය ලෙස විශ්‍රාම ගොස් සිටින සෞඛ්‍ය සේවකයන් , දැනට සෞඛ්‍ය සේවකයාට ප්‍රවේශ වෙන්න ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ස්වේච්ඡාවෙන් මේ සඳහා සම්බන්ධ වෙන්න කැමැත්තෙන් සිටින පිරිස් යොදාගෙන වෙනම බලකායක් හැදිය යුතුයි.

ඒවගේම පාසල් පවත්වාගෙන යාමට අදාළව විමධ්‍යගත සැලසුමක් හැදිය යුතුයි. අපිට පුලුවන්නම් ගම මුල්කරගෙන කෙටි කාලයක් සඳහා පාසල, පන්සල, ප්‍රජා ශාලාව යොදාගෙන ගුරුවරුන් සහ සංවර්ධන නිලධාරීන් මේකට සම්බන්ධ කරගෙන අධ්‍යාපන කටයුතු පවත්වා ගත යුතුයි. ඒකට හේතුව අපිට කලින් තියෙන අත්දැකීම අනුව වසංගතය අඩු වෙලා මාස 3ක් යනකම්වත් පාසල් පටන් ගන්න වෙන්නෙ නැහැ.

මේ යෝජනා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස වුණේ ඒවා සාධනීයයි කියන අදහස. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවත් සංගම් සමඟ සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් පොදු හඬක් ගොඩ නගන්න. “

leave a reply