Breaking News

තේ කර්මාන්තයම දූෂිතයි – නදී සූරියබණ්ඩාර

නදී සූරියබණ්ඩාර

වැවිලි කර්මාන්ත ඇමැති, තේ මණඩලය සහ ජාවාරම්කාර සමාගම් කෝටි ප‍්‍රකෝටි ගණනින් සිදු කරන දූෂිත කි‍්‍රයාවලට එරෙහිව ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමය නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට සැරසෙයි. මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ ජාතික තේ වැවිලි කරුවන්ගේ සංගමයේ ලේකම් වසන්ත අල්විස්.

‘‘යූරියා පොහොර ගෙන්වීමේදී කරන ලද මහා පරිමාන වංචා ජාතික විගණන කොමිසම මඟින් අනාවරණය කරගෙන තිබෙනවා. පොහොර ගෙන්වීමේ දී කෝටි 700ක වංචාවක් සිදු කරල තියෙනවා. තේ මණ්ලය මඟින් ඇමරිකාවේ පැවැත් වූ ප‍්‍රදර්ශනයක දී මහා මූල්‍යමය විනාශයක් කරල තියෙනවා. ඊට අමතරව අපි විසින් අනාවරණය කරගත් තොරතුරු රාශියකුත් තිබෙනවා. තේ කොමසාරිස් ගෙ දූෂිත බව ඔප්පු කළ හැකි හඬ පට අප ළඟ තිබෙනවා.

අපි මේ සියලූ සාක්ෂි මත පදනම්ව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරනවා. අපි ළඟ තියෙන තොරතරු මත පදනම්ව අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා. ඊට අමතරව කාට හෝ පුද්ගලිකව මඩ ගැසීම අපේ කාර්යය නෙමෙයි. අපි කතා කරන්නෙ දේශපාලන අරමුණු වෙනුවෙන් නෙමෙයි. අපිට එවැනි පහත් අරමුණු නැහැ. අපට තියෙන්නෙ රට ගැන සහ අපේ අනාගත පරපුර ගැන කැක්කුමක් වේදනාවක්. අපි මේ තීරණය ගත්තෙ අපේ අනාගත පරපුර වෙනුවෙන්. ඒනිසා අපි මේ දූෂණයට විරුද්ධව ක්‍රයාත්මක වෙනවා.

තේ කියන්නෙ අපේ රටට විදේශ විනිමය ගෙනා ප‍්‍රධාන පෙළේ ආදායම් මාර්ගයක් මෙම නිෂ්පාදන ක්‍ර‍යාවලියෙන් අපට අපේ රටට ඩොලර් ගෙන්න පුළුවනි. රටට ඩොලර් ටික ආවොත් අපට බෙහෙත් ටික ගන්න පුළුවනි. අපි විදෙස් ඩොලර් මතයි යැපෙන්නෙ. නමුත් වර්තමානයේ මොකද වෙන්නෙ අපේ තේවලින් කෙන්යාව ඉන්දියාව වගේ රටවල් පෝසත් වෙනවා. අපට පොහොර සහනාධාරය නැහැ. යූරියා මිටිය වී ගොවියාට 10000යි අපිට 15500යි.

තේ ගොවියාත් කර්මාන්ත කරුවාත් යන දෙදෙනාම රැකෙන්න නම් මේ කර්මාන්තයේ සිදුවන දූෂණ වංචා නතර කරන්න අවශ්‍යයි. ඒ සඳහා මුලින්ම තේ ගොවියා ශක්තිමත් විය යුතුයි. මේ රටට ද්‍රෝහිකම් කරන ප‍්‍රධාන පාර්ශ්ව 3ක් සිටිනවා. ඒ දේශපාලකයින් රාජ්‍ය නිලධාරින් සහ කූට ව්‍යාපාරිකයින් ය. කූට ව්‍යාපාරිකයින් විසින් කසල තේ අපනයනය කරල අපේ රටේ තේ නාමය විනාශ කරනවා. තව පිරිසක් කෙන්යාවෙන් ඉන්දියාවෙන් තේ ආනයනය කරන ප‍්‍රති අපනයනය කරනවා. ගම්මිරිස් ගොවියාට කළ දේ තමයි දැන් තේ ගොවියාටත් කරන්න හදන්නෙ.

මේ දේවල තනි කෙනෙක්ට කරන්න බැහැ. ඉහළ සිට පහළට හදාගත් වංචාකාරයින් ජාලයක් එකට එක් වීමෙනුයි මේ දේවල් කරන්නෙ. රාජ්‍ය නිලධාරීන් උදව් කරන්නෙ නැත්නම් දේශපාලකයා හොරකම් කරන්නෙ කොහොම ද? මේ මිනිස්සුන්ට හෘද සාක්ෂියක් නැහැ. උන් රට ගැන හිතන්නෙත් නැහැ. රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉහළට ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මේ සිද්දවෙන්නෙ බරපතල අපරාධයක්. මේ රටවත් මේ කර්මාන්තයවත් මේ දූෂිතයින්ට විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. අපි පෙළ ගැසෙන්නේ ඒ වෙනුවෙන්ය.

අපි දැන් ලෝකයේ තේ අපනයනය කරන රටවල් අතර 6 වැනි ස්ථානය දක්වාම පහළ බැහැලා. ඒ වගේම වසර 26කට පසුව අවම වාර්ෂික තේ නිෂ්පාදනය වාර්තා වෙන්නෙ 2022 වර්ෂයේ. විෂය බාර ඇමතිවරයාට මේ කිසිම දෙයක් ගැන වගක් නැහැ. අඩුම තරමින් ජාතික විගණන කොමිසම මඟින් අනාවරණය කළ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණයක් කරන්නවත් ඔහුට අවශ්‍යතාවයක් නැහැ. ඔහු පවසන්නේ ඒ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවයි. අභ්‍යන්තර පරීක්ෂණයක් කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වාගේ වැඩක්නෙ. ඇයි ඇමතිවරයාට බැරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා. ඒ දේවල් ඔවුන් කරන්නෙ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි දැනටමත් සූදානම් කරමින් ඉන්නෙ.’’

 

leave a reply