Breaking News

ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම කතානායකවරයාගේ වගකීම

21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකියි. ද්විත්ව පුරවැසියන් නොව අඩුම තරමේ ලංකාවේ පුරවැසිභාවය ද නැති පුද්ගලයන් මේ පාර්ලිමේන්තුව තුළ සිටිනවා කියන මතයක් සමාජගත වෙලා තියෙනවා වගේම දහ දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ද ප්‍රකාශයට පත් වෙනවා. කවුරුන්ද කියා සොයා බලා ඔවුන්ව හෙළිදරව් කිරීමත් 21 වන සංශෝධනයට අනුව ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමක් සිදුවිය යුතුයි.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා වෙත කරුණු පැහැදිලි කරමින් පැෆරල් සංවිධානය ලිපියක් බාර දී තිබෙනවා. පහත පළ වන්නේ ඔවුන්ගේ එම ලිපියයි.

 

ගරු කතානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ගරු කතානායකතුමනි,

ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්මේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සොයාබැලීම හා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව නැවත වරක් ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන බවටද ප්‍රකාශ නිකුත්වී ඇත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවද ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කල නොහැක. එමෙන්ම රටක නීතී ප්‍රතිපත්ති සම්පාදනය කරන හා මූල්‍ය පාලනය සිදුකරන ව්‍යවස්ථාදායකය තුළ විදේශ පුරවැසියන් සිටීම, සිටින බව ප්‍රකාශ වීම, එකී ව්‍යුහය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳීයෑමට හේතුවක් විය හැකිය. එවැනි තත්ත්වයක් තුළ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු අදාල රටවල් දෙක අතර තීරණාත්මක ප්‍රතිපත්තිමය කරුණකදී හෝ ගිවිසුමකදී කුමන රට වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න පුරෝකතනය කල නොහැක්කකි.

මේ වන විට ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් යැයි සඳහන් කරමින් විවිධ නම් සමාජය තුළ සංසරණය වන අතර සැබැවින්ම ඔවුන් ද්විත්ව පුරවැසියන් නොවන්නේ නම් ඒ හරහා ඔවුනට සිදුවනුයේ බලවත් අගතියකි. එමෙන්ම මෙවැනි චෝදනා හරහා පාර්ලිමේන්තුව කෙරෙහි මෙන්ම මහජන නියෝජිතයන් පිළිබඳවද ජනතා විශ්වාසය බිඳවැටීම යහපත් ප්‍රවණතාවයක් නොවේ.

එබැවින් මේ පිළිබඳව කඩිනමින් සොයාබලා පාර්ලිමේන්තුව පිළිබඳ මහජනයා තුළ ඇතිවිය හැකි අප්‍රසාදය වැළැක්වීමට ක්‍රියාකරන ලෙසත් මේ මොහොතේ එවැනි ද්විත්ව පුරවැසිභාවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී නම් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව අප ආගමන විගමන පාලකවරයාගෙන්ද විමසීමක් කර ඇති බව ඔබතුමාගේ දැනගැනීම සඳහා සඳහන් කරමු.

මේ පිළිබඳව ඔබතුමා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අපව දැනුවත් කරන්නේ නම් කෘතඥ වෙමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

 

leave a reply