ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය
තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දී තිබීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා විසිනි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106 ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 13 වනදා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවට දක්වා තිබේ .
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 12(2) ව්‍යවස්ථාවන් යටතේ පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝනය වන බවයි.
එමෙන්ම තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතියද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝනය වන බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
අපේ රටේ ශ්‍රම බලකාය ගෙන බැලූවිට කාන්තාවන් සංඛ්‍යාත්මකව අඩු වුවද හැම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන් පිරිමින් හා උරෙන් උර ගැටෙමින් රැකියා කරනු දැකිය හැක. විශේෂයෙන් පිරිමින් විශාල වශයෙන් යෙදෙන ආරක්ෂක අංශවල, පොලීසිය තුළ පවා කාන්තාවන් බහුල ලෙස රැකියා කරයි. එවැනි තත්ත්වයකදී දුම්රිය ස්ථානාධිපති තනතුරට පමණක් පිරිමින්ට පමණක් අයදුම් කළ හැකි වන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැත. මෙය සුද්දාගේ කාලයේ සිට පැවත එන පිළිවෙත් ඉදිරියට යාමක් විය යුතුය.