Breaking News

පරිසර විනාශය සඟවන්න හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය

පරිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවු අයුරින් පරිසර විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියවෙන අසත්‍යය ප්‍රවාත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇති බවය.

රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැළැ වල පිහිටි ගස් කපා හෙළන බවටත් මෙම වාර්තා මඟින් පෙන්වා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මින් පෙර කිසිකලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීතිවිරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට එම පුවත් නිර්මාණය කරන අය උත්සහ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ අදහස වී තිබේ.

ජනතාව නොමඟ යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෑත කාල සීමාව තුළ පරිසර විනාශය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව පවසන්නේ සාමාන්‍ය ජනතාව නොව ඒ පිළිබඳ විශේෂඥයන් වන පරිසරවේදීන් විසිනි. පසුගියකාලයේ වාර්තා වූ පරිසර විනාශයන් හිදී රජය මගින් පැවැත්වූ පරීක්ෂණවලදී ද හෙළිවූවේ එවැනි පරිසර විනාශයක් සිදුවී ඇති බවයි. නමුත් පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර නීති සහ දේශීය නීති පවා කඩ කරමින් සිදුවූ එම විනාශයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන ලදී. දැන් ආණ්ඩුව සැරසෙන්නේ පරිසර විනාශය සම්බන්ධ පුවත් ප්‍රචාරය වීම වළක්වා සමාජයෙන් මතුවන විරෝධය මර්දනය කිරීමටයි.

leave a reply