වැල්ලවාය බස් අනතුර – ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය රැකෙන්නේ කවදාද?

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් ඊයේ රාත්‍රියේ මාරක අනතුරකට ලක් වී තිබේ. ඉදිරියෙන් ගමන්ගත් ජිප් රථයක වැදීමත් සමග බස් රථය මෙලෙස ප්‍රපාතයකට පෙරලුණු බව සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.

ඊයේ (04) රාත්‍රී 9 ට පමණ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර් කණුව අසලදී සිදුවූ මෙම බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. අනතුරට ලක්වන අවස්ථාවේදී එහි රියැදුරු සමග පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.

අනතුරෙන් බස් රථය මීටර් 500 කට වැඩි ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති අතර මේ වන විට මෙම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අතර බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කර ඇත. මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටී.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල රෝහල වෙත අතුළත් කර ඇති අතර තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

අනතුරට ලක් පිරිස බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන්, පොලිසිය, යුද හමුදාව මෙන්ම ගුවන් හමුදාවද එක්වී තිබුණි. අනතුර සිදුවූ වහා ම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් වල කඳු නැගීමේ කණ්ඩායම්වල සේවකයින් පවා මෙම මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව තිබේ. එහිදී බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාල හරහා විස්තර කර ඇති පරිදි අවට ප්‍රදේශ වාසීන්ගේ මැදිහත්වීම සුවිශේෂී තැනක තිබේ.

එසේම ඇතැම් සමාජ මාධ්‍ය ජාල වාර්තා කරන්නේ මෙම ස්ථානය ආශ්‍රිතව මීට පෙරද මෙවැනි අනතුරක් සිදුවී ඇති බවයි. එසේම අනතුරට පත් බස් රථයේ සිටි පුද්ගලයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ බස් රථයේ බ්‍රේක් නොමැති බව අනතුර සිදුවීමට මොහොතකට පෙර රියදුරු විසින් දැන්වූ බවයි.

මීට පෙර ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ලංගම බස්රථයක් අනතුරට ලක්වූ අවස්ථාවේද බස් රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ ප්‍රමිතිය, මාර්ගවල ප්‍රමිතිය මෙන්ම රෝහල්වල ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් සංවාදයක් මතුවිය.

මේ සියලු කරනා අනතුර සිදුවීමට බලපෑ බව සහ අනතුරේ තීව්රතාවය වැඩිකිරීමට හේතුවූ බව පැහැදිලි විය. දැන් නැවතත් අනතුරක් සිදුව තිබේ. මෙම කාරනා වල කිසිදු වෙනසක් සිදුව නැත. මෙම කරනා ගැන සොයාබලන ක්‍රමවේදයක් ඇති බව හෝ දක්නට නොලැබේ. බස් රථ රියදුරන් වැරදි කරනවාද සෙවීමට AI තාක්ෂනය යොදාගන්නා බව පමණක් අසන්නට තිබේ.

අපට නැවතත් සතුටු වීමට ඉතිරිව ඇත්තේ මේ රටේ ජනතාවම මෙවැනි අනතුරකදී කරන සාමූහික මැදිහත්වීම ගැන පමණි.

Share post:

Popular

More like this
Related

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...

රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...