Breaking News

ආර්ථික අර්බුදය නිසා ලාංකික සරණාගත සංක්‍රමණ වැඩිවෙලා – ඉන්දීය මාධ්‍ය

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිඟය හේතුවෙන් ලාංකිකයන් එරටට සංක්‍රමණය වෙමින් සිටින බවයි.

මෙරටින් එරටට ආ පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම පිළිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවල සදහන් වන්නේ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඊයේ (23) තමිල්නාඩුවට පැමිණි බවයි.

මෙම පුද්ගලයින් සියලු දෙනා යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ළදරුවන්ද ඇතුලුව සරණාගතයන් ලෙස පැමිණි පුද්ගලයින් 6 දෙනෙක් රාමේෂ්වරම් වෙරළේ දූපතක් අසළ අතරමංව සිටියදී ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් බේරාගෙන තිබෙනවා.

ඉදිරියේදී ඇති විය හැකි සරණාගත අර්බුදය පිළිබඳ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ඉන්දියානු මධ්‍යම රජයට ද දැනුම් දී ඇතැයි පැවසේ.තමිල්නාඩු මුහුදේ සැකකටයුතු යමක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ධීවරයින් දැනුවත් කර ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනා ගෙන් වැඩිහිටියන් 3 දෙනා ඊයේ (23) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව චෙන්නායි හි පුසාල් මධ්‍යම සිරගෙදර දවස් 15 කට රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇතැයි පැවැසෙයි. එහිදී මාස 4 බිළිඳා ඔහුගේ මව සමඟ ද අවුරුදු 6 ක දරුවා ඔහුගේ මව සමගද සිටීමට අධිකරණය අවසර දී ඇතැයි ද පැවසේ.

අනිකුත් සරණාගතයින් මන්දපම් කඳවුරේ රඳවා අවශ්‍ය විමසීම් කඳවුර මාර්ගයෙන් සිදු කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

leave a reply