Breaking News

රනිල් ආර්ථිකය ගොඩදාන හැටි – ‘අඛණ්ඩව විදුලිය ඕනනම් වැඩිපුර ගෙවපල්ලා’

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාදීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලියසපයන ලෙස රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සලසන ලෙස ද ඔහු උපදෙස් ලබාදී ඇතැයි පැවසේ.

මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ 66%න් බව පැවසුවද මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව රුපියල් 753 ක් බවට පත්වීම හරහා සියයට 251 කින් විදුලි බිල ඉහළ දමා ඇති ආකාරය ගැන කතා බහක් මතුව තිබේ.

ඒ අනුව අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන ජනතාවට වැඩිපුර බර පටවා දුෂ්කරතත්වයන්ට පත්වන අයට සහන සලසන ලෙස උපදෙස් දීම විහිළුවකි. විදුලි බිලේ බර වැඩිපුරම පටවා තිබෙන්නේ රටේ විදුලි එක්ක අඩුවෙන් පාවිච්චි කරන දුප්පත්ම ජනතාවයි. අවම වශයෙන් විදුලි ඒකක වැඩිපුර පාවිච්චි කිරීම අනුව විදුලි බිල වැඩිවුවේ නම් එම ජනතාවට යම් සහනයක් ලැබිය හැකිව තිබුණි.

එසේම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සිමාවේ පවා විදුලිය කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේ කප්පාදු නොකරන බවට දුන් පොරොන්දු කඩ කරමිනි. ඒ අනුව දැන් විදුලි බිල වැඩිකර අඛණ්ඩව විදුලිය දෙන පැවසුවත් තව ටික දිනකින් පවසනු ඇත්තේ අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් විදුලි ගාස්තු තවත් වැඩි කළ යුතු බවයි. නැතිනම් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ආණ්ඩුව පැවසුවහොත් පුදුම විය යුතු නැත.

දැන් ආණ්ඩුව නොකියා කියමින් සිටින්නේ අඛන්ඩව විදුලිය අවශ්‍යනම් වැඩිපුර ගෙවපල්ලා යන්නයි. ගැටලුවලට මේ ආකාරයේ උත්තර දීමට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි.

leave a reply