දරුවගෙ අම්මව පොලිසියේ ප්‍රශ්න කරන එක වීඩියෝ කරලා ප්‍රසිද්ධියේ ෆේස්බුක් දාන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ ?

 

දරුවෙක් මොනම හේතුවක් උඩවත් අතාරින එක අනුමත කරන්නෙ නෑ .අනුමත කරන්නෙ නැති වුනාට අපිට ඒක මේ තියෙන තත්ව යටතේ නවත්තන්නත් බෑ .නූගත්කම හින්දා හරි ,ආර්ථික ප්‍රශ්න හින්දා හරි ,දූෂණය වීම හින්දා හරි ,උපත් පාලනය වැරදුන හින්දා හරි ,විවාහ වෙලා නැති හින්දා හරි ,ගෙදරට සමාජයට මූන දෙන්න බැරි හින්දා හරි ,පසු ප්‍රසව විෂාදය හින්දා හරි දරුවෙක් කෙනෙකුට අතෑරලා යන්න හිතෙනවා නම් මේකෙන් වෙන්නෙ ආයෙමත් වැසිකිළි වලකට හරි කුණු වලකට හරි ,ළිඳකට හරි දරුවෝ දාන්න පෙළඹෙන එක නේද ?

සමහරවෙලාවට අපිට තෝරගන්න වෙන්නෙ අඩුම හානිකර දේ.කිරිදරුවෙක් ම/ර/ලා දානවට වඩා කොහොම හරි ජීවත් වෙලා ඉන්නවට මම කැමතියි .
අම්මගෙන් අතෑරුනාට පස්සෙ දරුවෙකුට හැදෙන්න වැඩෙන්න සුදුසු තැනක් නෑ කියන එකේ අසමත් කම තියෙන්නෙ අපිව පාලනය කරන බලාධිකාරය අතේ නෙවෙයි ද?.අදාල ආයතනවල පවතින අක්‍රමිකතා නිවැරැදි කරන්නත් ඒ ගැන නිරන්තර පසු විපරමක ඉන්න එකත් තනි තනි පුද්ගලයෝ විදියට අපිට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .ඒ තැන්වලත් දරුවෝ අසරණ වෙනවා නම් අනාරක්ෂිතයි නම් කාටද ඒ අවනඩුව කියන්න ඕනෙ ?

අනිත් එක අම්මා තාත්තා නැති වුනොත් විතරද දරුවෙකුට හානියක් වෙන්න පුලුවන් ?

අම්මලා එක්ක ඉද්දිත් දරුවෝ දූෂණය වෙනවා අම්මලා එක්ක ඉද්දිත් දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙනවා,අම්මලා එක්ක ඉද්දිත් දරුවෝ අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නවා ,අම්මලා එක්ක ඉද්දිත් දරුවෝ නරක සමාජ ඇසුරට පත් වෙනවා ,මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙනවා ,අම්මලා එක්ක ඉද්දිත් දරුවෝ හෙල්මට්වලින් ගහනවා ,තවත් කෙනෙක් හිංසනයට ලක් කරනවා, …… ඒ මදිවට අම්මලා තාත්තලාම දරුවන්ට අමානුෂික විදියට පහර දෙනවා …දරුණු මානසික තුවාල ඇතිකරනවා .එහෙම බලද්දි දරුවෙකුට යහපත් විදියට වැඩෙන්න රටේ කොයි මුල්ලද ඉතිරි වෙලා තියෙන්නෙ ?

මතක තියාගන්න මේක ධර්මද්වීපය වුනාට උදේ හවස ගම දෙවනත් වෙන්න පිරිත් දාගෙන ඉන්න බොහොමයක් පංසල්වලත් කුඩා සාමණේරවරු අපයෝජනයට, හිංසනයට ලක්වෙන බව.මේ තිත්ත යථාර්ථය තේරුම් නොගෙන ඒ යථාර්ථයෙන් උපදින සමහර සිදුවීම්වලටයි සිදුවීම්වල කතා නායකයින්ටයි හෙන ඉල්ලනවා නම් ඔයාටත් පේන්නෙ ප්‍රශ්නයේ සුළු කොටසක් විතරයි.

දෙපැත්තට බෙදිලා වචනවලින් ගහගන්නවට වඩා මේ අපි ජීවත් වෙන රටාව ඇතුලෙ වෙනස් කල යුතු දේවල්,අහෝසි කලයුතු දේවල් වගේම අලුතින් නිර්මාණය කල යුතු දේවල් කොච්චරක් නම් තියෙනවද කියලා තේරුම් ගන්න එක වැදගත් කියලා හිතෙන්නෙ නැද්ද ?

ප්‍රශ්නයේ එක කොනක එල්ලෙනවා වෙනුවට දරුවෙක් කොහේ හිටියත් සුරක්ෂිත වෙන, මූලික අයිතිවාසිකම් අඩුවක් නැතුව සැපිරෙන , ඔලුව කෙලින් කරගෙන සතුටින් අභිමානයෙන් ජීවත් වෙන ස්වාධීන පුරවැසියෙක් බවට පත් වෙන්න පුලුවන් වටපිටාවක් හදන එක අපි හැමෝගෙම වගකීමක් කියලා හිතෙනවා නම් අන්න ඔයත් නියම “අම්මෙක්”.නියම “තාත්තෙක්”.

දිනු රාජගුරු

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...