Breaking News

මව්වත් සෙනෙහස

දර්ශනී අබේසිංහ

අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දේ එළිපත්තට ආව ගමන්ම ලබන ජනවාරිය, ජීවිතයේ ප්‍රීතිමත්ම දිනයත්, දුක්ඛ දායක දිනයත් එකවරම ලබා දුන්න හේතුව ඇයිද කියලා කල්පනා කරගෙනම කකුල් දෙකම පුටුව උඩට අරගෙන සීතල ට වකුටු වුණා.

මහ පාන්දර ඇහැරවුනේම මහ වැස්සක ශබ්දයත් එක්ක. නින්දෙන් ම ඇහුණ නිසාද මන්දා ටිකක් වෙලාව ගියා ඒ සද්දය මොකක්ද කියල හඳුනා ගන්නත්.

ඉහින් කනින් රෙද්දක් පෙරව ගත්තනම් තව පැය දෙක තුනක් නිදා ගන්න පුලුවන් කියලා හිතුනා වුනත් එළිවෙන පාන්දරම දරු පැටියා හිතට අරන් මං නැගිට්ටෙම කිරිබතක් හදන්න.

ජනවාරිය ලැබුව දවසේ ඉඳලම හිතෙන් ලෑස්තිය මේ දවස් එනකම් තමා.

පසුගිය අවුරුදු තුනම දරුවා මං ලග හිටියේ නෑ උපන්දිනයට. කැලැන්ඩරයේ දින බලලා මග බැලූවේ ඉරිදාවක් නිසා මේ අවුරුද්දේ නම් මූණ ඉඹලා සුබ පතන්න මයි.

පහුගිය ටිකේම හිත හරී කලබලයි. සෑම සියලුදේම පිලිවෙලට ලක ලෑස්ති කරගන්න වැඩ රාජකාරි අස්සෙම යෙදුනා කීවත් හරි.

ඒ අතර නොවිය යූතු අතපසු වීම් නිසා හිතත් රිදවා ගත්තා. කිසිම දාක මගේ වැඩක් වෙනුවෙන් කාටවත්ම කරදර නොකරන තරමට මං මගේ වැඩ, වගකීම, පිලිවෙලට ඉෂ්ට සිද්ධ කරනවා. අවුරුදු ගණනාවක් දරුවාගේ සියලු කටයුතු වල වගකීම්, හිත පිරූ සතුටින්, තනියම දැරූ පුරුදු පුහුණුව මාව මෙතැනට ගෙනාවා වෙන්නත් ඇති.

කිසිදාක කාටවත්ම අපි දෙන්නාගේ කටයූතු වෙනුවෙන් කරදර නොකරපු සතුට අපි දෙන්නගෙම හිත් වල තියෙනවා. ඒක පොඩි පහේ ආඩම්බරයකුත් වෙනවා.

මං අවදි වෙලා බව දැනුණ නිසා එයත් නැගිටලා ආවා. හිත පුරාම බදාගෙන සුබ පැතුවා. දෑන් හරි උසයි නේ. ඇගිලි තුඩින් ඉස්සුනත් බෑ ඒ උසට කිට්ටු කරන්න.

ආස මොනවද කියලා කලින්ම අහගත්ත නිසා ඊයෙම ගිහින් අඩුපාඩු සියල්ලම ගෙනත්, අද රස කෑම වේලක් උයලත් දුන්න. ලැබුන පැය කීපයකට හරි දුවගෙන එන්නේ මගේ රස කෑම කාල යන්නම නේ.

උදේ ඉඳලම වැහැපු වැස්ස තාම වහිනවා. සීත හිරිකඩ ගේ පුදුමත් පැතිරිලා වගේ කකුල් පවා හිරි වැටිලා.

කකුල් දෙකත් සනීපෙට පුටුව උඩට කරන් ලෑස්ති වූනේ මේ ලියන අද දවස ගැන ලියා තබන්නමයි.

මං සැනසීමෙන් හින්දම පුතාට ලිව්ව සුබ පැත්මත් සුබදායකයි. සුවදායකයි කියලා මට ම හිතුනා. පසුගිය අවුරුදු තුන ගෙවුනේ කොහොමදැයි දැන් හිතන විටත් පුදුමයි. ලෝකය දෙස බලන තිස්තුන් කෝටියක දෙවියන් මං කියන ඒවා අහන් ඉන්නත් ඇති. කිසිම දරුවෙක් කරදරයෙන්, දුකෙන්, කණගාටුවෙන් ඉන්නව දකින්න කිසිම අම්මෙක් කැමති නෑ. ඒ මව්වත්කම මාවත් රිදෙව්වා, හැඬෙව්වා, ඇති තරමට.

සියලුම දේ අනිත්‍යයි. දුක සැපත් එලෙසමයි.

මේ එක්කම ලබන ඉදිරි දවසක් තියෙනවා කිසිදිනක නොආ යූතු නමුත් ආව.

දරුවෙකුට පියතුමා අහිමි වීම සේම, භාර්යාවට සිය ස්වාමියා අහිමි වීම තරම් දුකක් තව තියේද?

දුක සතුට දෙකම රිය සක වගේ පෙරලි පෙරලී යන මේ ජීවන ගමන ගැන වටහාගන්නවා නම් මට මේත් ඇති .

ඒත් පෘථග්ජන සිතක නිරන්තරව ඇතිව නැතිව යන මේ භව තන්හාව ඊට මග අහුරනවා දැන දැනම.

සසරට මහ බැඳීම මවකගේ නම්; දරුවන් මයි.

දරුවන් වෙනුවෙන් නිවන පවා දුරස් කරගත්තේ ඒ අම්මාවරුන්මයි.

leave a reply