Breaking News

නාම යෝජනා බාරගැනීමෙන් පසු පළාත් පාලන මැතිවරණ කල් යයිද?

රටේ අදායම මේ වන විට දැඩි අර්බුදයට ලක්ව ඇති බැවින් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඊට අවශ්‍ය අමතර මුල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර ඉදිරිපත් කළ රීට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔහු මේ දැනුම් දී සිදු කළා.

ලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම මඟින් සඳහන් කර තිබෙන්නේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු 2021 වසරේ මෙරට අපනයන ආදායම 8.2%කින් පහත වැටුණු බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ අයවැය පරතරය 11.6%කින් ඉහළ ගිය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් මෙවැනි හේතු දැක්වීම් මැතිවරණය කල් දැමීම වෙනුවෙන් ගෙන ඒමට නියමිත බවට බොහෝ ඉඟි පළව තිබුණි.

එයට එක් හේතුවක් වූවේ මැතිවරණ නියාමන පනත ඊයේ දින සම්මත වීමයි.

මෙම පනතට පක්ෂව ඡන්ද 97ක් සහ එරෙහිව ඡන්ද 36ක් ලැබුණි.

විපක්ෂය අවධාරණය කළේ පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා රජය ගන්නා උත්සාහයේ මෙය තවත් දිගුවක් බවය.

මෙය සම්මත වීමෙන් පසු දැනට ප්‍රකාශයට පත්කර ඇති ඡන්දය ද නව නීතියට අනුව පැවැත්විය යුතු බවට කිසිවෙකු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගතගොත් මැතිවරණ කොමිසම අපේක්ෂා කරන දිනයට ඡන්දය පැවැත්විය නොහැකි බව විපක්ෂය අවධාරණය කරන ලදී.

එමෙන්ම නව පනතට අදාළ රෙගුලාසි සකස් කිරීමට කල්ගත වෙන බැවින්,ඡන්දය කල් දැමීමේ අවදානමක් ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසීය.

එම සැකය දුරු කිරීමට නම් ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණයට නව නීතිය අදාළ නොවන බවට පනත් කෙටුම්පතට සංශෝධනයක් එකතු කරන්නැයි විපක්ෂය ඉල්ලා සිටිය ද එවැනි සංශෝධනයක් ඊට ඇතුළත් නොවීය.

කෙසේවෙතත් අද දහවල් 12න් පසු ඇප මුදල් තැන්පත් කිරීම අවසන් විය. හෙට දිනයෙන් පසු නාම යෝජනා බාර ගැනීමද අවසන් වීමට නියමිතය.

leave a reply