Breaking News

ලාභය වෙනුවෙන් වසංගතය පාවිච්චි කිරීමට එරෙහිව

එන්නත පොදු අයිතියක් ලෙස පිළිගනු
මාර්තු 11 යුරෝපා විරෝධතා දිනයට අපේ සහය

කෝවිඞ් 19 ලෝක වසංගතයක් ලෙස ප‍්‍රකාෂයට පත්කර මාර්තු 11 දිනට වසරකි. එහෙත් වෛරසය තවමත් පැතිරෙමින් පවතී. ඉන් ජනතාව මුදා ගැනීමට නම් සියලූ දෙනාට අවශ්‍ය බෙහෙත් සහ කෝඩිඞ් ප‍්‍රතිශක්තීකරණ එන්නත ලබා දීම කල යුතුය. එය සමාජ, ආර්ථික හෝ භූගෝලීය වර්ගකිරීමකින් තොරව සහතික කල යුතුය. එහෙත් කුරිරු ධනවාදය ඊට සූදානම් නැත. වසංගතය උන්ගේ ලාභ සඳහා මේ වන විටත් යොදා ගනිමින් සිටී. නිපදවන එන්නත පවා ආර්ථික බලවත්කම අනුව බෙදා ගැනීමට තරම් නිර්ලජ්ජිත වී ඇත. මාධ්‍ය තොරතුරු වලට අනුව මේ වන විට රටවල් 130කට එකදු එන්නතක් හෝ ලැබී නැත. නිශ්පාදනයෙන් සියයට 75ක්ම බෙදාගෙන ඇත්තේ ධනවත් රටවල් 13ක් අතරය. මෙවන් ලෝක වසංගත තත්වයක් හමුවේ පවා ධනවාදයේ නරුමකම අත්හරින්නට ඔවුන් සූදානම් නැත. කල යුත්තේ ඉන් පීඩා විඳින අතිමහත් බහුතර ජනයා විසින් මේ කුරිරු ධනවාදය විනාශ කිරීමට කටයුතු කිරීමයි. එය වචන වලින් බැරිය. ඒ සඳහා සංවිධානය විය යුතුය. ඒ සඳහා හඩ නැගිය යුතුය. එය තවදුරටත් කල් නොදැමිය යුතු වහ වහා කල යුතු කාර්යයකි.
මෙවන් ලෝක පරිමාණ වසංගත තත්වයකදී කල යුතුව තිබුනේ කුමක්ද සියලූ රාජ්‍යන් එක්වී තම ජනතා අරමුදල් යොදවා ලෝකයේ සිටින විශේෂඥ්ඥයින්, විද්‍යාඥ්ඥයින් කැඳවා සියලූ දැනුම එකතුකොට අවශ්‍ය පහසුකම් ලබාදී ලෝකවාසී ජනයා වෙනුවෙන් අදාල එන්නත නිපදවීම හා සැමට නොමිලේ ලබා දීම නොවේද ඒ වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් රාජ්‍යන් සිදුකලේ මෙය පුද්ගලික සමාගම් සතු කිරීම නොවේද අද සිදුවන්නේ ඔවුන්ගේ ලාභය වෙනුවෙන් කොරෝනා ජාවාරමක් කර ගැනීමය. එය සැපයුමට වඩා ඉල්ලූම වැඩි ලාබදායී වෙළඳපොලකි. මෙසේ වසංගතය ඔවුන්ගේ ජාවාරමක් බවට පත්කර ගනිද්දී කොරෝනා වසංගතයෙන් හෝ පාඩම් උගෙන මේ කුරිරු ධනවාදයට එරෙහිව පීඩිත ජනයා පෙළගැසිය යුතුය.

leave a reply