Breaking News

ඕමාන ප්‍රශ්නය – නූතන වහල් වෙළඳාමේ තිත්ත ඇත්ත

ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (නොවැ. 22) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මොවුන් දෙදෙනා විදේශ රැකියා තරැව්කරුවන් ලෙස කටයුතු කර ඇති බව යි.

ඒ අනුව මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඕමාන් තානාපති කාර්යාලයට අනියුක්තව සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියෙකුට ද චෝදනා එල්ලවී ඇති අතර ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේපකර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඊ. ඩී. බී. සේනානායක ඊයේ (නොවැ. 21) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ,

“මෙම අතවරයන්ට මුහුණදුන් සහෝදර කාන්තාවන් එම රටට ගිහින් තියෙන්නේ පිළිගත් නීත්‍යානුකූල ක්‍රමවේදයට රැකියාවක් සඳහා යන විදියට නොවෙයි,”

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආර්ථික කටයුතු ) චන්දන වීරසේන ප්‍රකාශ කරන්නේ අවිධිමත් ලෙස විදේශගත වීම මෙම ගැටළුවට හේතුවී ඇති බව ය.

එසේම ඔහු පවසා ඇති ආකාරයට මෙම සිදුවීම්වලට සම්බන්ධ තානාපති නිලධාරියාගේ වැඩ තහනම් කිරීම පමණක් සිදුකර තිබේ. නමුත් අදාළ කාන්තාවන් පවසන ආකාරයට එම නිලධාරියා ඍජුව මෙම මිනිස් ජාවාරම සඳහා සම්බන්ධ වී සිටියි. එනම් එවැනි කෙනෙක් සම්බන්ධයෙන් මෙතරම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිද යන්න ගැටලුවකි.

පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වාගනු ලබන සේවා ගිවිසුමක් හෝ, රැකියා වීසා බලපත්‍රයක් මඟින් විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ලබාදීම මේ වන විට සිදුකරනු ලබයි.

එහෙත් කාර්යාංශය වෙතින් වලංගු බලපත්‍ර නොමැති කණ්ඩායම් නව ක්‍රමවේදය අනිසි ලෙස භාවිතකර ඕමානය හා එක්සත් අරාබි රාජ්‍යයන් වෙත ගෘහසේවය සහ අඩු නිපුණතාවෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයන් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බැවින්, ඕමානය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ත සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා කාණ්ඩ සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රශ්නය එහෙමමයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේම දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 06දී පමණක් ලක්ෂ 2ට අධික පිරිසක් විදේශ රැකියා සඳහා යාමට ලියාපදිංචි වී තිබේ. ඒ අනුව පෙනෙන පරිදි මේ වනවිට මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යොමුවන බව පැහැදිලිය. අපේ රටට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගෙන එනු ලබන්නේ මෙලෙස විදෙස් ගතවන ලාංකිකයන් විසිනි. නමුත් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය සහ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් කිරීමට ලංකාවේ කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැත.

උදාහරණයක් ලෙස ඕමාන ප්‍රශ්නයේදී පවා බලධාරීන් පවසන්නේ අවිධිමත් ලෙස විදේශ ගතවීම මෙම ගැටලුවට හේතුව බවයි. නමුත් විධිමත් ලෙස විදෙස් ගතවන ලාංකිකයන්ට මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී නැද්ද?

පසුගිය කාලයේ කොරෝනා වසංගත සමයේ විදෙස් ගතවූ ලාංකිකයන් මුහුණ දුන ගැටලු එයට හොඳම උදාහරණයකි. මැදපෙරදිග කලාපයේ බොහෝ විදෙස් ගත ලාංකිකයන් පිරිසක් වසංගතයට ගොදුරුව මිය යන් ලදී . එසේම කොවිඩ් ආසාදිත ලාංකිකයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තානාපති කාර්යාල කිසිදු මැදිහත්වීමක් සිදුකර නොතිබුණි. වසංගතය හේතුවෙන් රැකියා අහිමිවූ , වීසා කාලය ඉක්මවූ ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් නොතිබුණි. ලංකාවේ ඇමතිවරු පැවසුවේ ඔවුන් කොවිඩ් බෝම්බ විය හැකි බවයි.

ඊට අමතරව වසංගත තත්ත්වයේදී පමණක් නොව සාමාන්‍ය කාලවලදී පවා රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ලිංගික අපයෝජනයන්ට, මරණයට පත්වීමට, අධිකව වැඩ කිරීමට සිදුවීම සහ විවිධ තාඩන පීඩනවලට ලක්වීම ඉතා සුලබ සිදුවීමක් වී තිබේ. නමුත් මෙතෙක් කලක් මෙම වහල් වෙළඳාම නැවත්වීම සඳහා කිසිදු දෙයක් සිදුකර නැත. එම ප්‍රශ්නය විසඳීම වෙනුවට දැන් ඕමාන ප්‍රශ්නයේදී ද ආණ්ඩුව කරන්නට උත්සාහ කරන්නේ මෙය හුදු විදෙස් ගතවූ කාන්තාවන්ගේ ප්‍රශ්නයක් බවට ලඝු කොට ඇඟ බේරා ගැනීමටයි.

leave a reply