Tag: human trafficking

  • උතුරු නැගෙනහිර දරුවන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් හෙළිවේ

    උතුරු නැගෙනහිර දරුවන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් හෙළිවේ

    ලංකාව, මැලේසියාව සහ එක්සත් රාජධානිය අතර ක්‍රියාත්මක ළමා ජාවාරමක් පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව වාර්තාවේ.

    මැලේසියානු ආගමන විගමන බලධාරීන් විසින් ශ්‍රී ලාංකික දරුවන් එක්සත් රාජධානියට විකුණන කණ්ඩායමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසු 16 හැවිරිදි දරුවෙකු නැවත කොළඹට පිටුවහල් කිරීමත් සමඟ ලංකාවේ ආගමන හා විගමන බලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා තිබේ.

    එසේම මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම සඳහා ශ්‍රී ලාංකික දරුවෙකු සමඟ පැමිණි මැලේසියානු ජාතික යුවළක් ක්වාලාලම්පූර් ආගමන කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය මේ වසරේ අප්‍රේල් මාසයේදී වාර්තා කර තිබුණි. බාලවයස්කාර දරුවන් සිටින දිළිඳු මැලේසියානු පවුල්වල දෙමාපියන්ට මුදල් ගෙවා ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්න සහතික තොරතුරු ලබාගනිමින් ලාංකික දරුවන්ට මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කර ඇති බව මැලේසියානු බලධාරීන්ගේ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සමත් වූ ලාංකික දරුවන් යුරෝපයට සහ එක්සත් රාජධානියට යවා ඇති අතර මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයකින් යුරෝපයට යවන සෑම ශ්‍රී ලාංකික දරුවෙකු සඳහාම යුරෝ 30,000 සිට 50,000 දක්වා මුදලක් මෙම ජාවාරම්කරුවන්ට ලැබී ඇත.

    මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නැවත කොළඹට පිටුවහල් කළ දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. යාපනය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම දරුවා ජාත්‍යන්තර ළමා ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් දරුවාගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 75ක මුදලක් ගෙවා රැගෙන ගොස් ඇති බව හෙළිව තිබේ.

    2022 දෙසැම්බර් සිට 2023 අප්‍රේල් දක්වා ළමුන් මෙරට සිට මැලේසියාවට පිටත්වීම් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු ඉන් ළමුන් 13 දෙනෙකු මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර සමඟ එක්සත් රාජධානියට සහ ප්‍රංශයට යවා ඇති බවට විශ්වාස කිරීමට සැලකිය යුතු සාක්ෂි ඇති බවත් ජ්‍යෙෂ්ඨ ආගමන විගමන පරීක්ෂකවරයා පවසා ඇත.

    “දරුවන් 13 දෙනාගේ පසුබිම් තොරතුරු සොයා ගැනීමෙන් පසු ඔවුන්ගේ දෙමාපියන් සහ උතුරු නැගෙනහිර පළාත්වල ලිපිනයන් සොයා ගැනීමට අපට හැකි වුණා. අපි පසුව මෙම ප්‍රදේශවලට ගොස් ළමයින් එම රටවලට යවා ඇති බවට සහතික විය, ”ඔහු පැවසීය.

    ඒ අනුව ආගමන විගමන විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ මෙම ළමුන් සියලු දෙනාම දෙමළ ජාතිකයන් වන අතර ඔවුන්ගෙන් අට දෙනෙකු යාපනයේ සහ පස් දෙනෙකු මඩකලපුවේ පදිංචිකරුවන් බවයි. වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් 11 දෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු ඔවුන් අතර සිට ඇත. මෙයින් ළමුන් 11 දෙනෙකු එක්සත් රාජධානියට ගොස් ඇති අතර දෙදෙනෙකු ප්‍රංශයට ගොස් ඇති බවට සැක කෙරේ.
    මූලික පරීක්ෂණ වලදී මෙම දරුවන්ගේ දෙමාපියන් පවසා ඇත්තේ යුරෝපයේ සිටින තම ඥාතීන් රුපියල් මිලියන කිහිපයක් ගෙවා තම දරුවන් එවැනි රටවලට යැවීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

    මාස පහක දීර්ඝ ශ්‍රී ලංකා ආගමන දෙපාර්තමේන්තු මූලික විමර්ශනය අවසන් වූ පසු 2023 අගෝස්තු මාසයේදී සම්පූර්ණ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී තිබේ.

    ඩේලි මිරර් ඇසුරුණි

     

  • ඕමාන ප්‍රශ්නය – නූතන වහල් වෙළඳාමේ තිත්ත ඇත්ත

    ඕමාන ප්‍රශ්නය – නූතන වහල් වෙළඳාමේ තිත්ත ඇත්ත

    ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (නොවැ. 22) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ මොවුන් දෙදෙනා විදේශ රැකියා තරැව්කරුවන් ලෙස කටයුතු කර ඇති බව යි.

    ඒ අනුව මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙම ජාවාරම සම්බන්ධයෙන් ඕමාන් තානාපති කාර්යාලයට අනියුක්තව සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියෙකුට ද චෝදනා එල්ලවී ඇති අතර ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේපකර තිබේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඊ. ඩී. බී. සේනානායක ඊයේ (නොවැ. 21) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ,

    “මෙම අතවරයන්ට මුහුණදුන් සහෝදර කාන්තාවන් එම රටට ගිහින් තියෙන්නේ පිළිගත් නීත්‍යානුකූල ක්‍රමවේදයට රැකියාවක් සඳහා යන විදියට නොවෙයි,”

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආර්ථික කටයුතු ) චන්දන වීරසේන ප්‍රකාශ කරන්නේ අවිධිමත් ලෙස විදේශගත වීම මෙම ගැටළුවට හේතුවී ඇති බව ය.

    එසේම ඔහු පවසා ඇති ආකාරයට මෙම සිදුවීම්වලට සම්බන්ධ තානාපති නිලධාරියාගේ වැඩ තහනම් කිරීම පමණක් සිදුකර තිබේ. නමුත් අදාළ කාන්තාවන් පවසන ආකාරයට එම නිලධාරියා ඍජුව මෙම මිනිස් ජාවාරම සඳහා සම්බන්ධ වී සිටියි. එනම් එවැනි කෙනෙක් සම්බන්ධයෙන් මෙතරම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිද යන්න ගැටලුවකි.

    පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වාගනු ලබන සේවා ගිවිසුමක් හෝ, රැකියා වීසා බලපත්‍රයක් මඟින් විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ලබාදීම මේ වන විට සිදුකරනු ලබයි.

    එහෙත් කාර්යාංශය වෙතින් වලංගු බලපත්‍ර නොමැති කණ්ඩායම් නව ක්‍රමවේදය අනිසි ලෙස භාවිතකර ඕමානය හා එක්සත් අරාබි රාජ්‍යයන් වෙත ගෘහසේවය සහ අඩු නිපුණතාවෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයන් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බැවින්, ඕමානය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ත සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා කාණ්ඩ සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර ඇත.

     

     

     

     

     

     

     

     

     

     

     

    ප්‍රශ්නය එහෙමමයි

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේම දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 06දී පමණක් ලක්ෂ 2ට අධික පිරිසක් විදේශ රැකියා සඳහා යාමට ලියාපදිංචි වී තිබේ. ඒ අනුව පෙනෙන පරිදි මේ වනවිට මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යොමුවන බව පැහැදිලිය. අපේ රටට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගෙන එනු ලබන්නේ මෙලෙස විදෙස් ගතවන ලාංකිකයන් විසිනි. නමුත් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය සහ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් කිරීමට ලංකාවේ කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැත.

    උදාහරණයක් ලෙස ඕමාන ප්‍රශ්නයේදී පවා බලධාරීන් පවසන්නේ අවිධිමත් ලෙස විදේශ ගතවීම මෙම ගැටලුවට හේතුව බවයි. නමුත් විධිමත් ලෙස විදෙස් ගතවන ලාංකිකයන්ට මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී නැද්ද?

    පසුගිය කාලයේ කොරෝනා වසංගත සමයේ විදෙස් ගතවූ ලාංකිකයන් මුහුණ දුන ගැටලු එයට හොඳම උදාහරණයකි. මැදපෙරදිග කලාපයේ බොහෝ විදෙස් ගත ලාංකිකයන් පිරිසක් වසංගතයට ගොදුරුව මිය යන් ලදී . එසේම කොවිඩ් ආසාදිත ලාංකිකයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තානාපති කාර්යාල කිසිදු මැදිහත්වීමක් සිදුකර නොතිබුණි. වසංගතය හේතුවෙන් රැකියා අහිමිවූ , වීසා කාලය ඉක්මවූ ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් නොතිබුණි. ලංකාවේ ඇමතිවරු පැවසුවේ ඔවුන් කොවිඩ් බෝම්බ විය හැකි බවයි.

    ඊට අමතරව වසංගත තත්ත්වයේදී පමණක් නොව සාමාන්‍ය කාලවලදී පවා රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ලිංගික අපයෝජනයන්ට, මරණයට පත්වීමට, අධිකව වැඩ කිරීමට සිදුවීම සහ විවිධ තාඩන පීඩනවලට ලක්වීම ඉතා සුලබ සිදුවීමක් වී තිබේ. නමුත් මෙතෙක් කලක් මෙම වහල් වෙළඳාම නැවත්වීම සඳහා කිසිදු දෙයක් සිදුකර නැත. එම ප්‍රශ්නය විසඳීම වෙනුවට දැන් ඕමාන ප්‍රශ්නයේදී ද ආණ්ඩුව කරන්නට උත්සාහ කරන්නේ මෙය හුදු විදෙස් ගතවූ කාන්තාවන්ගේ ප්‍රශ්නයක් බවට ලඝු කොට ඇඟ බේරා ගැනීමටයි.

  • වියට්නාම මුහුදේ දී බේරාගත් ලාංකිකයන් කැනඩාවට යන්න  ඩොලර් 5000 බැගින් ගෙවලා

    වියට්නාම මුහුදේ දී බේරාගත් ලාංකිකයන් කැනඩාවට යන්න ඩොලර් 5000 බැගින් ගෙවලා

    ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ විශාල පිරිසක් රැකියා සඳහා වෙනත් රටවල් වෙත සංක්‍රමණය වෙමින් සිටියි. මෙහිදී නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට උත්සාහ දරණ පුද්ගලයන් සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතියි. පසුගිය මාස කිහිපය තුළ එවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.

    එලෙස මුහුදු මාර්ගයෙන් කැනඩාව බලා යාමට උත්සහා කළ පුද්ගලයින් 303 දෙනෙකු පසුගිය 07 වැනිදා සිංගප්පූරු නාවික හමුදාවේ සහාය ඇතිව ජපානයට අයත් ‘හේලියෝස් ලීඩර්’ නෞකාව ආධාරයෙන් බේරා ගනු ලැබිණි.

    සිංගප්පූරු සහ වියට්නාම මුහුදු සීමාවේ දී මෙම පිරිස මුදාගෙන ඇත.

    මෙම පිරිස පසුගිය 08 වැනිදා වියට්නාමයේ වුන්ග් ටෝ වරායට රැගෙන ආ ලැබූ බවත්, එහි ඇති කඳවුරක නවාතැන් ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවත් වාර්තා වේ.

    බීබීසී සේවය වාර්තා කරන පරිදි උතුරු සහ නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් වැඩි පිරිසක් අදාළ යාත්‍රවේ ගමන් කළ බව එහි සිටින පුදගලයෙකුගේ සහෝදරයකු පවසා ඇත.

    මෙම නෞකාවේ ගමන් ගත් පිරිස් තම දේපළ පවා විකුණා දමා නැවත ලංකාවට පැමිණීමේ අදහස අතහැර දමා කැනඩාව බලා පිටත් ව ගොස් තිබේ.

    කැනඩාව බලා පිටත්ව යාමට සූදානම් ව සිටි එක් පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 5000 අය කර තිබේ.

    මියන්මාරයේ සිටි මෙම පිරිස පසුගිය ඔක්තෝබර් මස 10 වැනිදා කැනඩාව බලා සිය ගමන් ආරම්භ කළ මෙම යාත්‍රාව දින 28ක අසීරු මුහුදු ගමනක නිරත වූ අතර එහි දී මෙම යාත්‍රාවේ සිදුරක් නිර්මාණය වී ඇති බවත් ඒ හරහා යාත්‍රාව තුළට ජලය කාන්දු වන බවත් දැනගන්නට ලැබී තිබේ.

    එය ගිලීමේ තර්ජනයට මුහුණ දී ඇති බවට වන තොරතුරු යාත්‍රාවේ සිටි සරණාගතයින් සමුද්‍රීය නිලධාරීන්ට දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔවුන් මුදාගැනීමට කටයුතු යොදා ඇත.

    එසේම මෙළෙස බේරාගන්නා ලද පිරිස් නැවත ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙන බව බිබීසී සේවය වාර්තා කර තිබේ. එයට හේතුව ඔවුන් තමන් සන්තක සියල්ල විකුණා දමා විදෙස් ගතවීමට උත්සාහ කිරීම පමණක් නොවේ. මේ පිරිසෙන බහුතරය දමිළ ජාතිකයන් නිසා ඔවුන් මෙරටට ගෙන ඒමෙන් පසු අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා එල්ල කර සිරගතකරනු ඇති බවට පවතින බිය හේතුවෙනි.

    මේ අතර වියට්නාම බලධාරීන් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන විසින් සිදු කරනු ලබන මගීන් පරීක්ෂා කිරීම කටයුතු අවසන් වූ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.