ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් ඩොලර් 286කට ගත් බව පවසමින් ජනතාව නොමඟ යැවූ පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිලට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකාව ගෙවා ඇති බවට පළවන වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කරමින් ඔහු මේ බව පවසා ඇත.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු අවධාරණය කළේ අදාළ ඩොලර් 286ක මිල වාර්තා වී ඇත්තේ බොරතෙල් සඳහා නොව පිරිපහදු කළ ඩීසල් බැරලයක් සඳහා බවයි.
මෙම ආන්දෝලනාත්මක පුවතට පදනම් වූ HSBC බැංකුවේ ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ, HSBC ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පරීක්ෂා කිරීමේදී, එහි කොතැනකවත් “බොරතෙල්” යන පදය සඳහන්ව නොමැති බවත් එහි දැක්වෙන්නේ “තෙල් මිලදී ගැනීමක්” පිළිබඳව පමණක් බවත් සභාපතිවරයා පෙන්වාදෙනවා.
මාධ්‍ය විසින් තෙල් බැරලයක් යන්න කුමන වර්ගයේ ඉන්ධනයක් දැයි නිවැරදිව හඳුනා නොගෙන, එය “බොරතෙල්” ලෙස අසත්‍ය ප්‍රචාරයක් ගෙනයෑම වත්මන් අර්බුදයට හේතු වී ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.
කෙසේවෙතත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙහිදී සිදුව ඇත්තේ තෙල් බැරලයක් යන පොදු වචනය වැරදි ලෙස අර්ථකථනය කිරීමක් බවයි.
එමෙන්ම පිරිපහදු කළ ඉන්ධන බැරලයක මිල සැමවිටම බොරතෙල් මිලට වඩා ඉහළ මට්ටමක පවතින බවත් ලෝක වෙළඳපොළ මිලට අමතරව ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු එකතු වූ විට පිරිපහදු කළ ඩීසල් බැරලයක මිල එවැනි අගයකට යාම සාමාන්‍ය තත්ත්වයක් බවත් සභාපතිවරයාගේ අදහසයි.
කෙසේ වෙතත්,
“මේ ප්‍රචාරය නිසා ජනතාව පෝලිම් වලට එන්න පුළුවන්, අනවශ්‍ය කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ගැන අදාළ පරීක්ෂණ ආයතන වලට දැනුම් දීලා තියෙන්නේ මේක හිතාමතා කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියලා සොයා බලන්න.”
මේ අතර සංස්ථාව විසින් මාර්තු මාසයේදී බොරතෙල් බැරලයක් මිලදී ගෙන ඇත්තේ ඩොලර් 66.99කට බවත්, ඉදිරි ඇණවුම්ද ඩොලර් 71-113 අතර සාමාන්‍ය මිල ගණන් යටතේ පවතින බවත් සභාපතිවරයා දත්ත සහිතව මෙහිදී තහවුරු කළා.
ජනතාවට ඉන්ධන සහනයක් ලබාදීම වෙනුවෙන් රජය ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක් බැගින් බදු මුදල් මගින් පියවන බවත්, අනවශ්‍ය ලෙස ජනතාව කලබල කරමින් පෝලිම් නිර්මාණය කිරීමේ කඩාකප්පල්කාරී අරමුණින් පුවත් මවන බව පෙනී යන බැවින්, අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.






