අරන් දුෂ්කර සේවයේ මුල්ම මුල් පඩිය
ගිහින් දුන් දා තාත්තට අලුත් කණ්ණඩිය
ඇහෙන් ගැලු කඳුලකින් මා දිහා බැලු විදිය
මතක් වෙනකොට රිදෙන්නෙම පපුවෙ මැද හරිය
නුඹව හොයනවා ඇති මහ ගෙදර ගල් පඩිය
තවම කියවනව ඇති නුඹ තියා ගිය කවිය
ඇළදොලේ ගහකොලේ නුඹම විය සීපදය
කෙනෙක් හිටියද තවත් මට තාත්තට වැඩිය
අස්කලා මිසක රැස්කලේ නැත අඩුවැඩිය
“පස් වෙන්නනේ ඉන්නෙ” ඒ නුඹේ බණ පදය
වස් විසූ ආරාමයකි නුඹේ හද කුටිය
හිස් අතින් නික්මුනත් නුඹෙ සසර මඟ කෙටිය
පැළඳ ගෙන නුඹ තියා ගිය බිඳුණු කණ්ණඩිය
හැඳින ගමි තාත්තේ ලොවට පෙම් කල විදිය
කෑගැහිල ඇඬෙන තැන්වලත් හිනැහෙන විදිය
පෑනෙන්ම තාත්තගෙ ලියමි ඒ සෙත් කවිය