Breaking News

රාජ්‍ය රහස් පනතෙන් අධි ආරක්ෂිත කලාප නම් කරන්න බැහැ – නීතිඥ සංගමය

විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතෙන් බලයක් නොමැති බව නීතිඥ සංගමය පවසනවා.

කොළඹ ප්‍රදේශ කිහිපයක අධි ආරක්ෂිත කලාප පිහිටුවීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

නීතිඥ සංගමය පවසන්නේ, රාජ්‍ය රහස් පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ විසම්මුති අයිතිය පාලනය කිරීමට හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමට පමණක් එකී පනත භාවිත කළ හැකි බවයි.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් පෙරේදා (23) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ අතර එම නියෝග ක්‍රියාත්මක කිරීමේ නිසි බලධරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත් කර තිබෙනවා.

leave a reply